Tuesday, June 6, 2017

මුදු පැළඳීමේ අප නොදත් වගතුග.


 








 මුදු පැළඳීමේ අප නොදත් වගතුග. 

විලාසිතා කියන්නේ මුළු ලෝකය පුරාවටම පැතිරී තිබෙන තවත් එක්  රැල්ලක්. මෙය සාම්ප්‍රදායික සමාජයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට , කාලයෙන් කාලයට වෙනස් වෙමින් අළුත් වෙමින් පැවතගෙන යන තවත් එක් කලාවක්. විවිධ විෂම වූ විලාසිතා අතරින් මුද්ද කියන ආභරණයට විශේෂ තැනක් හිමි වෙනවා. මන්ද මෙය විටෙක එක්තරා වූ සංස්කෘතික සංකේතයක් බවටත් , තවත් විටෙක ආරක්ෂක පළදනාවක් ලෙසටත් , විලාසිතා හා බැඳි ආභරණයක් බවටත් හඳුන්වන්න පුළුවන් අවස්ථි හමුවන නිසාවෙන්.

කෙසේ වෙතත් මෙම මුඳු පැළඳීම නම් වූ කළාවේ ආරම්භය දෙසට අවධානය යොමු කිරීමේදී එය ආදී මානව යුගය දක්වාම දිව යයි. නුතනයේ විවිධ මාදිලියන්ගෙන් විවිධ අමුද්‍රව්‍ය වලින් මෙම මුද්ද නමැති ආභරණය සැදුව ද  අතීතයේ  මෙයට වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ සත්ව ඇට කැබලි හා විිවිධ ලෝහමය කොටස්ය. පසුව විවිධ වර්ණ කැටි කොට ගනිමින් වර්තමානයේ එක් සුවිශේෂි ආභරණයක් බවට පත් ව ඇත. ස්ත්‍රී පුරූෂ බාල මහළු භේදයකින් තොරව පැළඳිය හැකි ආභරණයක් ලෙසටත් මෙය දැක්විය හැකිය.

 නූතන මිනිසා මුඳු පැළදීමේදී අනුගමනය කරනු ලබන ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනා ගත හැකිය. එනම්,
■    විලාසිතාවක් ලෙස
■    සංස්කෘතිමය කාරණා
■    ජ්‍යෝතීෂමය කාරණා

 කාලයෙන් කාලයට පැමිණි විලාසිතා රැල්ල අනුව මුදු පැළඳිමේ විලාසිතාවද වෙනස් වන අතර ඒ අනුව මුද්දේ හැඩය , වර්ණය , මෝස්තරය හා ප්‍රමාණය ආදිය ද වෙනස් වන බව කිව යුතුයි. අතිතයේ සිටම මෙය විලාසිතා අංගයක් ලෙසට භාවිතා කොට  ඇති බව පුරා විද්‍යා කැණීම් වලදී හමු වූ විවිධ හැඩ ගත් මෝස්තර සහිත මුඳු වලින් විද්‍යාමාන වේ.

ජ්‍යෝතීෂමය කාරණා දෙසට අවධානය යොමු කිරීමේදී අපල උපද්‍රව වලින් මිඳීමට විවිධ වර්ගයේ මැණික් එබ්බ වූ මුඳු පළදිනු ලැබේ. එහිදී ග්‍රහයාගේ බලපෑම අනුව මුදුදට එබ්බවිය යුතු මැණික් වර්ගය තීරණය වේ. උදාහරණ වශයෙන් , සිකුරු අපලයට දියමන්ති හා සුදු මැණික් බහුල වශයෙන් භාවිතා කරන අතර කේතු අපලයට වෛරෝඩි මැණික් එබ්බ වු මුඳු පළදිනු ලැබේ. ගුරුගේ අපලයට පුෂ්පරාග මැණික් ද , සඳුගේ අපලයට මුතු ද ,  රවිගේ අපලයට පද්මරාග මැණික් පැළදීම ද විශේෂත්වයකි. මේ ආදී වශයෙන් මුඳු පැළදීම මඟින් තමා වෙතට කිසියම් ආරක්ෂාවක් ලැබෙන බව ද විශ්වාස කෙරේ.

 සංස්කෘතිමය කාරණා දෙස බැලීමේදී මෙම මුඳු පෑළදීමේ සංකල්පය රාජ්‍යත්වයේ එක් උසස් සළකුනක් ලෙස හැදින්විය හැක. පරම්පරා වලින් පැවත එන එක්තරා දායාදයක් ලෙසටත් , සංස්කෘතිමය වශයෙන් භාවිතා වන සංකේතයක් ලෙසටත් මෙය හැදින්විය හැක. සිංහල විවාහ චාරිත්‍ර වලදී දෙදෙනාගේ බැඳිම ශක්තිමත් කරන්නා වූ සංකේතයක් ලෙසට විවාහ මුඳුව හැදින්විය හැක. කාන්තාවගේ වම් අතේ වෙඳගිල්ලේ ද , පුරුෂයාගේ දකුණතේ වෙඳගිල්ලේද  විවාහ මුඳුව පෝරු මස්තකයේදී වාරිත්‍රානුකූලව පැළඳීමෙන්  මෙම සබැඳියාව වර්ධනය වන බව විශ්වාස කරනු ලැබේ.

 ඊට අමතරව පළඳින මුඳුවේ වටිනාකම , වර්ණය , හැඩය , ප්‍රමාණය අනුව විවිධ සංස්කෘතික ලක්ෂණ ඉස්මතු කෙරේ. දුප්පත් පොහොසත් ආදී වශයෙන් මෙන්ම රස්තියාදුකාරයා , සල්ලාලයා , නගර සෝභනියන් ආදී විවිධ ස්වරූප ඉස්මතු කිරීම ආදී වු විවිධ ආකාරයේ අරමුණු උදෙසාද මුද්ද ආභරණයක් කොට ගන්නා බව කිව  යුතුය.  

මේ ආදී වශයෙන් අප කවුරුත් නොදන්නා යටගියාවක් මුද්ද තුළින් ඉස්මතු වන ආකාරය කිව යුතුමය. ඒ අනුව මෙම ආභරණය ඇති සුවිශේෂීත්වය මනාව ඉස්මතු වේ. 
    
          




No comments:

Post a Comment