Tuesday, April 25, 2017

නාට්ටාමි මමයි...



නාට්ටාමි මමයි...


අව්වට වැස්සට නෑ මම            සැලුනේ
වැරහැලි සරමයි කයට            දැවටුනේ
පේමන්ට් එක සැප යහනක්       මැව්වේ
වෙහෙස මහන්සිය අමතක          වූයේ

දුසිම් ගණන් බර ඉසිලූවත්                  මං
කැහැටු සිරුර හිමි නෑ මට       වෙහෙසක්
ලොකු ලොක්කන්ගෙන් දහයක්   විස්සක්
ලැබුණත් නැත දැක තිබුණේ මොනරෙක්

කුසගිනි දැනුනත් වේල් තුනම        මට
ප්ලේන්ටියකි මුලු දවසම          පිහිටට
බත් ඇටයක් දැක කුස         පුරවන්නට
පිං මදි ඇති බව නිතර සිතේ         මට

කන්ටේනර් එක පිට එක       එනකොට
මැවී පෙනේ වැහැරුණු මගේ     අතපය
හිතේ හයියකට මිස කිසි          විලසක
බර උසුලන්නට නෑ මට          ශක්තිය

තිස්තුන් කෝටියේ දෙවි       රැකවරණත්
තෙරුවන් බෙලයෙන් බුදු     රැකවරණත්
ජය ශ්‍රී මහ බෝ සමිදුගේ          පිහිටත්
නොම වේවා මට කිසිදින         අඩුවක්








Friday, April 21, 2017

අංජනම් ශාස්ත්‍රෙය් ඉතිහාසය






 අංජන නැතහොත් අදුන් යන වචනය මුල් කාලීනව වැඩි වශයෙන් ස්ත්‍රීන්ගේ රූප ස්වභාවය වැඩි කර ගැනීම සඳහා ඇස් සැරසීමට ගන්නා ආලේපන ගැන කතා කිරීමේදී භාවිතා වේ. අදුන් කළු හෝ තද නිල් පැහැයෙන් යුතුය. සමහර අවස්ථා වලදී සුදු රෝස වැනි පැහැයන්ද යෝදාගන්නා බව පෙනේ. අංජනම් බැලීම සඳහා යොදා ගන්නා ඖෂධ සංයෝගය  කළු පැහැයට හුරු වන නිසා අංජන යන නම භාවිතා කළා විය හැකිය.

          මෙය මෙලෙස ආරම්භ වුව ද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වලත්, ඇතැම් නාගරික ප්‍රදේශ වලත් අංජනම් බැලීම පේන කීම වැන් ගුප්ත විද්‍යා කර්මයන් දක්නට ලැබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ  දකුණු පළාතේ මාකර දිස්ත්‍රික්කයේ අංජනම් බැලීම පේන කීම වැන් ගුප්ත විද්‍යා කර්මයන් බෙහෙවින් දක්නට ලැබේ. මීට අවුරුදු 5000කට එහා ලංකාවේ රජකම් කළැයි කියන රාවණා රජ සමයේද ඉහළින් ජ්‍යොතිෂය හා නැකැත් ශාස්ත‍්‍රය තිබී ඇත. අංජනම් බැලීමේ ආරම්භය ද රාම රාවණා යුද්ධයෙන් පසු බව කියවේ. ඊට ප්‍රධාන වන දෙවි දේවතාවෝ අංජනම් දේවිය හා හනුමන්තාය. රාම රාවණා යුද්ධයෙන් වීරයා වූ හනුමන්තා අංජනම් දේවියගේ පුත්‍රයාය. මෙම මාතෘ පුත්‍ර දෙදෙනා මෙහි නායකත්වය දරයි. ඒ අනුව ඉතිහාස කතා වල හා ජනශ්‍රැති වල එන ආකාරයට මෙයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එ අනුව විජයාවතරණයට පෙර ළංකාවේ වාසය කල හෙළයන් අතර මෙම ඇඳහිලි විශ්වාස තිබූ බව සඳහන් වේ. රාවණා රජුගේ කාලයේ දී පළිඟුවක් දෙස බලාගෙන යම් යම් සිදුවීම් හා ස්ථාන ගැන තොරතුරු කිව හැක් දියුණු පළිඟු ශාස්ත්‍රයක් ළංකාවේ තිබූ බව සඳහන් වේ. එය අංජනම් හී මුල් අවස්ථාවක් බව ද පුරාණෝක්ති වල සඳහන් වේ.

                               මෙවන් ගුප්ත ශාස්ත්‍රීය කටයුතු විද්‍යාවට හෝ තර්කයට හසු නොවේ. ඒවා හුදෙක් මිනිසාගේ විශ්වාසයට යටත් වන දේවල්ය. මිනිසාට මුහුණ පෑමට සිදුවන විවිධ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු උවමනා කෙරේ. එමඟින් ඔවුන්ට යම් කිසි තෘප්තියක් හෝ සැනසීමක් ලැබේ නම් එය ප්‍රමාණවත් වේ. මෙවැනි වූ ගුත්ත විශ්වාස හා ව්‍යවහාර ලංකාවේ තිබීමට හේතුව මෙයයි. වර්තමාන තත්වය කෙසේ වුව ද අතීතයේ දී  බොහෝ විට කලබල ප්‍රශ්න ඇති වූ විට අංජනමක් බැලීමට මිනිසා යොමු වී සිටියේය. කේන්ද්‍රය බැලීමට වඩා නිවැරදි තොරතුරු අංජනමට පෙනේ යන්න ඔවුන්ගේ විශ්වාසය විය. විශේෂයෙන්ම 1973-1974 කාලයේ මෙවැනි අවස්ථා දැකිය හැකි විය. එකල සිංහල ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා පවා මෙම ව්‍යවහාරයන් විශ්වාස කරමින් ඒවායේ යෙදී සිටියහ. පලිගු ගෝලයක් දෙස බලා අනාවැකි කීම ඔවුන් අතර දක්නට ලැබුණි.බටහිර රටවල ද මෙය ප්‍රචලිතව පැවතුණි.

          ලංකාවේ පමණක් නොව පර්සියානු හා අරාබි කාන්තාර වල ද පළිඟුවක් දෙස බලාගෙන පේන කියූ අවස්ථා ගැන සඳහන් වේ. තව ද මිසරයේ ද එවැන්නක් තිබි ඇතැයි විශ්වාසයක් පවතී. නිශ්චිත සාදක නැතත් ලෝකයේ ඇතැම් රටවල පළිඟුවක් හෝ ඊට සමාන වස්තුවක් දෙස බලා අනාවැකි හෝ තොරතුරු කී අවස්ථා තිබෙන්නට ඇතැයි අනුමාන කල හැකිය. එය අංජනම් හී මුල් අවස්ථාවක් බව අනුමාන කල හැකිය. ඕලන්ද ජාතික හෙන්රි ප්‍රෑන්ක්ෆර්ට් , ඇමරිකා ජාතික තියොඩර් ගෙස්ටර් වැනි මානව විද්‍යාඥයන් පවසන්නේ කෘෂිකාර්මික ජන ජීවිතය තුළින් මෙම අංජනම් බදු මිථ්‍යා විශ්වාස ඇති වූ බවයි.ඒ අනුව මිනිසාගේ සශ්‍රීකත්වය අරඹයා විවිධ ශාන්ති කර්ම පුද පූජා ආශ්‍රිතව අංජනම් විද්‍යාව තුළ දක්නට ලැබෙන බව පෙනේ.