Wednesday, June 14, 2017

අසහනයේ සැබෑ තතු ප්‍රසන්න ජයකොඩිගේ නවතම නිර්මාණයෙන්...












  
ප්‍රසන්න ජයකොඩිගේ “28“
ප්‍රසන්න ජයකොඩිගේ “28“ චිත්‍රපටය අප ජීවත් වන සමාජයේ ඇතුළාන්තය ගැනම නිර්මිත ශෝක කාව්‍යක්
යැයි මට සිතේ. එය ශෝක කාව්‍යයක් වන්නේ වසර 2500ක සාඩම්බර සංස්කෘතියක් සහ ඉතිහාසයක් ගැන උදම් අනන අප අවසානයේ නතර වී ඇති තීරණාත්මක ලක්ෂය ගැනයි.

සංස්කෘතිය යනු ඉඩමක් හෝ කුඹුරක් මෙන වැටක් බැඳ ආරක්ෂා කළ හැකි දෙයක් නොවෙයි. සංස්කෘතිය රැකෙන්න නම් සංස්කෘතිය පරිණාමය වන්නට ඉඩ දිය යුතුයි. ඒ පරරිණාමය තුළම මිනිසුන්ගේ මිනිස්කම සහ වටිනාකම් ආරක්ෂා වෙන්න ඉඩ දිය යුතුයි. එසේ සංස්කෘතිය හෝ වටිනාකම් පරිණාමය වන්නට ඉඩ නොදී කටුකම්බි ගසා ඉඩමක් හෝ කුඹුරක් මෙන් එය රකින්නට ගියොත් සිදුවන්නේ විකෘති සහ විපරිත සමාජයක් බිහි විමයි. සරල සුන්දර “ගම“ නමැති රොමෑන්තික සංකල්පයට ඒ විකෘතිය හා විපරිත බව තවදුරටත් වසා සිටින්නට නොහැකි වෙයි.

28 චිත්‍රපටයේ සුද්දි සහ අබසිරි යනු මේ විකෘතියේ ඛේදජනක ප්‍රකාශන දෙකක් පමණකි. සරල අහිංසක මිනිසුන් දෙදෙනෙකු සමඟ ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමේ චේතනාවෙන් ගමක පදිංචියට යන සුද්දිට ගමෙ කොලු කුරුට්ටන්ගෙන් , බේබද්දන්ගෙන් පමනක් නොව මාමන්ඩිගෙන් පවා බේරීමක් නැති වන්නේ සමාජයක් වශයෙන් අප නිර්මාණය කොට ඇති මේ විකෘතිය නිසාය. අවසානයේ ඇය යළිත් නගරයට පැමිණ ගණිකාවක් බවට පත්වන අතර කොටින්ම කියතොත් ඇයගේ මළකඳ රැගෙන ගමට යන වෑන් රථයේ රියදුරා පවා නගරයේදී ඇයගේ සයනයට පැමිණි බව චිත්‍රපටය තුළ ඉඟි වේ.

ඇගේ සැමියා වන අබසිරිත් මේ විකෘතිය තුළම ජීවත් වන සහ එහි වින්දිතයෙකු වන මිිනිසෙකි. තම බිරිදගේ විලවුන් වල සුවඳ විදින්නට මෙන් ඇගේ නිරුවත් සිරුර සම්පූර්ණයෙන්ම ඔහුට දැකගැනීමට හැකි වන්නේ ඇය මිය ගිය පසුවයි. එමෙන්ම සිය බිරිදගේ මළකඳ රැගෙන ගමට එන ගමන සහ ඔහුගේ සංවේදනා හිරිවැටී ඇති ආකාරය හදවත කම්පා කරවන කටුක  සත්‍යයකි.

අප එක් එක් පුද්ගලයා වශයෙන් නොව සමාජයක් වශයෙන් මෙලෙස හිරි වැටී ඇත. මේ හිරි වැටීම නිසා අලට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව පවා පැහැදිලි වැටහීමක් අප සතු නොවේ. මේ විකෘතිය නිසා අප මැදිව සිටින්නේ කාන්තා මළ සිරුරක් සමඟ පවා නිදි වදින්නට තරම් ලිංගික අසහනයෙන් පෙළෙන මිනිසුන් ජීවත් වන රටක වේ. පොදු වැසිකිලි වල බිත්ති වල පවා , මහපාරේ තාප්ප වල පවා ගැහැණුන් ගැන කුණුහරප ලියා තම අසහනය පිටකර ගන්නා මිනිසුන් සිටින රටක. නැතහොත් 28 ට අනුවනම් තම බිරිදගේ නිරුවත් සිරුර ඇය කොහේ හෝ මල් ශාලාවක එම්බාම් ලෑල්ල මතට යන තුරු බලා සිටින්නට සිදුවන ස්වාමිපුරුෂයන් සිටින රටක. ලිංගික කුහකත්වයෙන් බැට කා අන්ත අසරණ වී නගරයට එන ගැහැණුන් නොයෙක් මිනිසුන් සමඟ යහනෙන් යහනට මාරු වන ගණිකාවන් සිටින රටක..
                                                                                                        (උ  ගැ)

No comments:

Post a Comment