Sunday, June 18, 2017
බෝගොඩ පෞරාණික රජමහා විහාරය , ඉපැරණි ලී පාලම හා උමඟ
බෝගොඩ පෞරාණික රජමහා විහාරය , ඉපැරණි ලී පාලම හා උමඟ
ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගොඩ ග්‍රාම නිළධාරි වසමේ පිහිටි ඉපැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙසට බෝගොඩ පෞරාණික රජමහා විහාරය හා ඉපැරණි ලී පාලම හැදින්විය හැක. හාලිඇල - වැලිමඩ මාර්ගයේ කිලෝමීටර 11ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව ජගුල්ල හන්දියෙන් වම් දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 2.5 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව මෙම පෞරාණික ස්ථානයට ලඟාවිය හැක.
මෙහි ඉපැරණි දැව පාලම හා කටාරම් ලෙන් විහාරය ඉපැරණි පුරාවිද්‍යාත්මක ස්මාරක වේ. එහි ඇති දුර්ලභ වූ ලී පාලම හේතුවෙන් මෙය ප්‍රසිද්ධත්වයට පත්ව ඇත. නමුත් ක්‍රි . පු ගණන් වල සිට පැවති පැරණි විහාරස්ථානයක් වන මෙයට එහි පුරාණ තොරතුරු පිළිබඳව සාක්ෂි ගණනාවක් එහි ලෙන් පියස්සේ කොටා ඇති පූර්ව බ්‍රාහ්ඹිය ලෙන් ලිපි වලින් සනාථ වේ.
“පරුමත තිග පුත බමකදශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ පඩිටිතෙ”
එනම් ප්‍රධාන වූ තිස්සගේ පුත්‍ර බ්‍රහ්මදත්තගේ ලෙන පැමිණි , නොපැමිණි සිව්දිග සංඝයා වෙත පිහිටුවන ලද්දේය යනුවෙනි. එහි අනෙක් ලිපියේ “උපශිකෙ” යනුවෙන් සඳහන් වන අතර උපාසිකාවන් වෙනුවෙන් පූජාකල පූජාවන් පුජාකල ස්ථානය බවට දැක්වේ.
මෙම ලෙන් විහාරයේ වන අනෙකුත් ඉදිකිරීම් නුවර යුගයේ හා ඉන් පසු කාලීනව සිදුකරනු ලබන ඒවා බව සඳහන්ය. ලෙන් විහාරයේ ඇතුළු ගෘහය තුළ ප්‍රධාන සැතපෙන බුද්ධ ප්‍රතිමාව ද. හිටි බුද්ධ ප්‍රතිමාව ද , සමාධි බුද්ධ ප්‍රතිමාව ද දක්නට ලැබේ. එය අලංකාරවත් මකර තොරණකින් යුක්ත වේ. සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ පාද පසින් බිත්තියේ කෙවණියක් කපා එහි තුළ විෂ්ණු දේව ප්‍රතිමාවක් දක්නට ලැබීම ද විශේෂත්වයකි. ශ්‍රී බුද්ධ වර්ෂ 2472 දී විහාර ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ බවට එහි ඇතුළු ගෘහයට පිවිසෙන දොරටුවේ මකර තොරණින් පැහැදිලි වේ. මෙම ලෙන් විහාරයේ වම් පස කොටස දේවාලයක් ලෙසට භාවිතයට ගන්නා අතර ප්‍රධාන දෙවියන් ලෙස විෂ්ණු දෙවියන් මධ්‍යයේ දෙපස වැඩ සිටින කතරගම හා සමන් දේව ප්‍රතිමා දක්නට ලැබේ. විහාරස්ථානයේ පැරණි සංඝාවාසය මැද මිදුලක් සහිත වන අතර මැද මිදුල වටා භික්ෂූන් වහන්සේලාගේ කුටි , මුළුතාන්ගෙය හා ගබඩා කාමර පිහිටා ඇත. විවෘත ආලින්දයෙහි සංඝාවාසයට ඇතුළු වන දොරෙහි උළුවස්ස අලංකාර කැටයමින් යුක්ත වේ.
මේ හා සම්බන්ධ අනෙක් සුවිශේෂි පුරාවිද්‍යාත්මක ස්මාරකය වනුයේ බෝගොඩ ඉපැරණි ලී පාලමයි. මෙය 16 වන සියවස ශ්‍රී ලංකාවේ දඹදෙණි රාජධානි යුගයේ ඉදිකරන ලද්දකි. මෙය දැවයෙන් ඉදිකරන ලඳ ලොව පැරණිතම පාලම වේ. ඒ අනුව ගල්ලන්දා ඔය හරහා යෙදූ මෙම ලී පාලම ලෙන් විහාරය හා බැඳි සුවිශේෂිම වටිනාකමකින් යුත් අංගය වේ. කඳු මුදුනේ ඇති ගම්මානයේ සිට ජනතාවට විහාරස්ථානයට පැමිණිමට ගල්ලන්දා ඔයෙන් එගොඩ වීමට ඇති දුෂ්කරතා මඟ හරවා ගැනීමට මෙම පාලම තනා තිබේ. පාලම දෙපස බීරළු සහිත අත්වැල් දෙකකි. එක් පසෙක කණු 10 බැගින් දෙපස කණු 20 කින් සමන්විත වන අතර එම කණු මත වහලය ගොඩනංවා ඇත. වහලයට පෙති උළු සෙවිලි කර තිබේ. මෙම ලී පාලම දිග අඩි 50ක් ද , පළල අඩි 6 ක් ද වන අතර උස අඩි 8 කි. වහළයට යොදා ඇති උළු මහනුවර යුගයේ බලපෑම ඉස්මතු කරයි. තව ද මහනුවර යුගයේ ගොඩනැගිලි වල ලක්ෂණද මෙම පෞරාණික ලී පාලමේ දක්නට ලැබේ. ගල්ලන්දා ඔය හරහා දමන ලඳ විශාල ලී කඳන් තුනක් භාවිතා කර සියලුම කොටස් දැවයෙන් ම පමණක් එනම් සම්බන්ධක ඇණ පවා ද නිර්මාණය වී ඇත්තේ දැවයෙනි. පාලම නිර්මාණය වන්නේ ගස් වර්ග 5 ක ලී යොදාගෙනය. කොස් , කුඹුක් , කළුවර , මිල්ල හා මිල් යන දැවයන් යොදාගෙන අඩි 30 ක් පමණ උස කුඹුක් කඳන් මත මෙම පාලම නිර්මාණය වී ඇත.
පාලම ඉදිකිරීම සමඟ විවිධ ජනකතා බැඳී ඇත. ඒ අනුව මෙය ඉදිකර ඇත්තේ එක්තරා පියෙකු හා පුතෙකු විසිනි. පාලමේ වැඩ අවසන් කොට පුතාට එම ස්ථානයේ රැදෙන්නැයි අණ කරමින් පියා වෙනත් වැඩකට ගොස් ඇත. නමුත් පාලමේ චාරිත්‍ර වලට අනුව තවත් වැඩ කොටසක් ඉතිරි වී ඇත. පියා පිටව යද්දී තමා නැවත එනකල් එම චාරිත්‍ර ඉටු නොකරන ලෙස පුතාට පවසා ඇත. ඒ ඔහු තූළ එම චාරිත්‍ර කෙරෙහි හරිහැටි අවබෝධයක් නොවන බැවිනි. නමුත් පාලමේ වැඩ නිම කිරීමට ඇති හදීසිය නිසා පියා එපා කියූ චාරිත්‍ර ද නිමකොට පියා මුණ ගැසීමට ඉදිරියට ගොස් ඇත. නමුත් ක්‍රමවත්ව පාලමේ චාරිත්‍ර නිම කිරීමට නොහැකි වූ නිසා එම පුතා සාපයක් වැදී අකාලයේ මියගිය බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.
මෙම ලෙන් විහාරය හා දකුණු පසින් පිහිටා ඇති උමඟ ද මෙහි පෞරාණිකත්වයට නිදසුන්ය. මෙය ඌවේ ප්‍රාදේශීය පාලකයෙකු වූ බ්‍රහ්මදත්ත නම් නරපතියා විසින් වළගම්බා රජුට පිළිගන්වා ඇත. වළගම්බා රජු ඉන්දීය ආක්‍රමණයෙන් බේරී අවුරුදු 3කට ආසන්න කාලයක් මෙම ගල් ගුහාවේ සැඟවී සිටි බව සඳහන් වෙයි. මෙම උමඟ දෝව රජමහා විහාරයට , නාරංගල කන්දට හා රුවන්වැල්ලට යා හැකි මාර්ගයක් බව ද සඳහන් වේ.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් (ක්‍රි . ව 1747 - 1781) පස්සර විහාරයට හා බෝගොඩ විහාරයට පොදුවේ ප්‍රධානය කරන ලඳ සන්නසක් විහාරය සතුව පවති. ඉන් මෙහි පෞරාණිකත්වය වඩ වඩාත් ඉස්මතු වේ. වර්තමානයේ මෙම ලෙන් විහාරය හා ඓතිහාසික ලී පාලම පරිහරණය හා පාලනය අම්පිටිය රාහුල හිමි සතුව පවතී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment