Monday, July 31, 2017

සුන්දරත්වය විදින්න HUNNAS FALL හූනස් ඇල්ල

සුන්දරත්වය විදින්න HUNNAS FALL 
හූනස් ඇල්ල 


අද අපි සිව්දිග සක්වල තූලින් කතා කරන්න යන්නේ   hunnas fall  . මහනුවර වත්තේගම පාරෙන් ඇල්කඩුව පාර දිගේ ගිහින් මේ අපූරු දිය ඇලි කොමළිය දැකබලා ගන්න පුළුවන්. විදේශිකයන්ගේ නෙත් පැහැර ගැනීමෙහිලා නම් මේ දිය ඇල්ලට තියෙන්නේ සුවිශේෂි හැකියාවක්. දේශීය සංචාරකයන් ට වඩා විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගෙන ඇති hunnas fall   නම් දිය ඇල්ල ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් එහි අසලටම යෑමේ හැකියාව උදා වෙනවා. දෙපැත්තේ වැටුණු කුඩා ගස් ගල්පර අස්සෙන් දිය ඇල්ල ළඟටම සේන්දු වෙන්න පටු පාරක් වැටී තියෙනවා. මෙම දිය ඇල්ල ළඟටම ගිහින් පල්ලෙහා බලද්දී පුංචි පුංචි කුටි කිහිපයක් දක්නට ලැබෙනවා. කට්ටිය ටි්‍රප් ආවම සිංදුවක් කියලා ඩාන්ස් කරලා යන්න තමයි ඒ කුටි හදලා තියෙන්නේ. hunnas fall  නම් දිය ඇල්ල බලන්න යන අය එතෙන්ට ගිහින් විනෝද වෙලා යන්නම් අමතක කරන් නෑ. ඒ කුටි ඇතුලේ ඉදන් බලද්දිත් හරි අපූරුවට අහස මුදුනින් වැටෙන ඇල්ලක් මෙන් මෙම දිය ඇල්ල දිස්වෙනවා.



hunnas fall නම් දිය ඇල්ල මීටර් හතලිස් අටක් පමණ උසයි. මුහුදු මට්ටමින් බැලුවම මීටර් 1765 ක උසකින් තමා මේ සුන්දර දියඇල්ල පිහිටලා තියෙන්නේ. දුර්ලභ හා ශ්‍රි ලංකාවට ආවේණික ශාක විශේස කිහිපයක්ම  hunnas fall දිය ඇල්ල ආසන්නයේ පිහිටලා තියෙනවා. තවද මේ ආසන්නයේ පුංචි වනාන්තරයක් තියෙනවා. ලංකාවට ආවේණක ඕකිඞ් විශේෂ ගණනාවක්ම ඒ සාර භූමියේ උප්පත්තිය ලබලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලේසියෙන් ඇස් ඉස්සරහට හමු නොවන සත්ත්ව විශේෂත් ඒ බිම වාස භූමිය කරගෙන ඉන්නවා. හැබැයි ඒ සත්තු දිවා කාළයට නම් වනපෙතෙන් එළියට එනවා බොහොම අඩුයි.  hunnas fall   දිය ඇල්ල බලන්න එන සමහර අය නම් දියඇල්ල පාමුලට ගිහින් නාන්න අමතක කරන්නේ නම් නෑ. hunnas fall   හෝටලයේ නවාතැන් ගන්න ඕනිනම් ඒකත් තියෙන්නේ දියඇල්ල ළඟමයි.
 
මහී කාන්තාවගේ සුන්දර නිමැවුමක් වන මේ දියඇල්ල හෙට දවසේ ආකර්ශණිය සංචාරක නවාතැන්පොළක් කිරීමේ  යුතුකම හා එය රැකගැනීම එහි සුන්දරත්වය නරඹන්න යන හැමදෙනාටම තියෙනවා.

Wednesday, July 26, 2017

ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය


 ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය




ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය, පට්ටිපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1897.5 ක් උසින් එය පිහිටා ඇත. අඹේවෙල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත.  කොළඹ සිට මෙම දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර් 223 කී. මෙම දුම්රිය ස්ථානය 1893 දී ආරම්භ කරන ලද්දකී. 

 

1948 වන තුරුම ලංකාවේ උසින්ම පිහිටා තිබු දුම්රිය ස්ථානය වුයේ කදපල දුම්රිය ස්ථානයයි. 1948 දී නුවරඑළිය දක්වා තිබු එම දුම්රිය මාර්ගය ඉවත් කිරිමෙන් පසු පට්ටිපොල දුම්රිය ස්ථානය ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය ලෙසට නම් කෙරිනි. 


1951 දී පමණ පට්ටිපොල දුම්රිය ස්ථානයට ආසන්නයේ (ඔහිය ‍දිශාවට) ඇති බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 18 දරණ බිංගය නිතර නිතර කඩා වැටීම නිසා බදුල්ල දක්වා දුම්රිය ධාවනය නිතර නිතර බධා පැමිණවීම නිසා බලධාරින් දුම්රිය මාර්ගය පට්ටිපොල දක්වා සීමා කිරිමට පියවර ගනු ලැබුහ. ඒ අවධිය වන විට දුම්රිය මාර්ගයේ වැඩි වශයෙන් භාවිතයට ගැනුනේ ගල් අගුරු තාප බලැති ඉංජින්ය. ඒ නිසා පට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉංජින් හැරවුම් පිඨීකාවක් (turning table) නොවු නිසා, ගල් අගුරු තාප බලැති ඉංජින් හැරවීම පහසුවන පරිදි ත්‍රිකොණාකාර දුම්රිය මාර්ගයක් මෙහි ඉදි කිරිමට කටයුතු යොදනු ලැබුහ. එම ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයේ නටඹුන් අදත් පට්ටිලපාල දුම්රිය ස්ථානයේදී දැක බලා ගත හැක. එසේම දුම්රිය ස්ථානයේ ගසක එල්ලා ඇති උෂ්ණත්වමානයක් සවීකර ඇත. මධ්‍යම පලාත් සභාවේ සහ දුම්රිය දෙපාර්තහම්න්තුවේ සහයෝගයෙන් පටත්වාගෙන එනු ලබන සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක්ද මෙහි ඇති වැදගත් ස්ථාන ලෙසට පෙන්වා දිය හැක.

දෙවෙනි මනාලිය


 දෙවෙනි මනාලිය 


ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ විය යුතුදැයි සැලසුම් කරන්නට පටන් ගන්නවා.

මංගල උත්සවයකදී වැඩිපුරම අවධානය යොමුවන්නේ මනාලියටයි. ඒත් එහෙම කියලා අනෙක් පිරිවර, නැත්නම්, මනාලයා, දෙවෙනි මනාලියන්, දෙවෙනි මනාලයන්, මල් කුමාර කුමරියන් ගැනත් අවධානය යොමු නොවෙනවා කියන්නට බැහැ. 


මීට වසර කිහිපයකට පෙර නම් දෙවෙනි මනාල මනාලියන් වැඩි පිරිසක් මංගල උත්සවයකදී දකින්නට ලැබුණේ නෑ. බොහෝ විට එක් අයෙකු එසේත් නැතිනම් කිසිවෙකුත් නොමැති විවාහ උත්සව තමයි ඒ කාලේ තිබුණේ. නමුත් අද වන විට අවම වශයෙන් දෙවන මනාල මනාලිය තුන බැගින්වත් පිරිසට ඇතුළු කරගැනීමට තරුණ තරුණියන් පෙළඹී සිටිනවා. ඒ නිසා මංගල දිනයේදී ඔවුන් සිටිය යුත්තේ කෙසේද, ඇඳිය යුතු ඇඳුම්ගැ පැළඳුම් මොනවාද යන්න ආදිය පිලිබඳ අවධානය යොමු කිරීම අනිවාර්යයි.

මනාලියගේ මංගල සාරි, ආභරණ, කොණ්ඩා මෝස්තර, මල් කලඹ, හැඩගැන්වීම් ආදියට මෙන්ම හැඩගැන්වීම්වල දී ද වැඩි ප්‍රමුඛත්වයක් ගෙන දෙන්නේ මනාලියටයි.නමුත් මෙහිදී මනාලිය මෙන්ම මනාලියගේ යෙහෙළියන් ලෙස සිටින දෙවැනි මනාලියන් ගැන ද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. මේ ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ දෙවන මනාලියන් තෝරාගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න ගැන සාකච්ඡා කිරීමටයි.

මනාලියගේ ස්වභාවය

මනාලියගේ යෙහෙළියන් තෝරා ගැනීමේදී හැමවිටම මනාලියගේ ස්වරූපයට ගැළපෙන අයුරින් හා ඇගේ උස මහතට ගැළපෙන ලෙසින් තෝරාගැනීම කළ යුතුයි.

මනාලියට වඩා වඩාත් මහත වූ වඩාත් කෙට්ටු වූ හෝ උස් වූ නැත්නම් වඩාත් මිටි වූ ස්වරූපයේ අය තෝරා නොගැනීමට කල්පනාකාරී විය යුතුයි. ඇතැම් අවස්ථාවල මනාලියට වඩා වඩාත් වැඩිමල් බවක් පෙනෙන හෝ මනාලියට වඩා ඉතාමත් ළාබාල පෙනුමක් ඇති යුවතියක් දෙවැනි මනාලියන් සඳහා තෝරා ගන්නා අවස්ථාවන් තිබෙයි. මෙයද නො කළ යුතුයි. මේ සඳහා මනාලිය තෝරාගත යුත්තේ තම සම වයසේ සිටින අයයි. විශේෂයෙන්ම මනාලියගේ උස මහතට අනුව දෙවැනි මනාලිය ගැළපෙන තැනැත්තියක් වියයුතුයි. එසේ නොමැතිව හිතුමතේට මනාලියගේ යෙහෙළියන් තෝරා ගන්නට යාමෙන් නොගැළපීම් මතු වී පෙනෙන්නට පුළුවනි.

එවිට සිදුවන්නේ මනාලියට වඩා දෙවෙනි මනාලියන් ඉස්මතුවී පෙනීමයි. එය ඡායාරූප ගැනීමේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට පුළුවන්.

රූපලාවණ්‍ය සත්කාර

මංගල දිනයට හය මසකට කලින් මනාලිය තම රුව ගැන සැලකිලිමත් විය යුතු බවටත් රුවෙහි අඩුපාඩු සාදා ගත යුතු බවත් ෆේෂල් සත්කාර සඳහා පැමිණිය යුතු බවටත් උපදෙස් ලැබෙන බව හැමෝම දන්නා කරුණක්. නමුත් දෙවැනි මනාලියන්ට මෙවන් අවධානයක් යොමු වෙන්නේ නැහැ. මනාලියට මෙන්ම දෙවැනි මනාලියන්ට ද මෙවන් උපදෙස් ලබාදීම අවශ්‍යයි.

බොහෝවිට මංගල දිනය ආසන්න වනතෙක් රූපලාවණ්‍ය ශිල්පියා හමුවීමට මනාලිය පැමිණිය ද දෙවැනි මනාලියන් රූපලාවණ්‍ය ශිල්පියා හමුවට නොඑන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. ඇතැම්විට පවසන්නේ ඔවුන් යම් යම් රාජකාරි නිසා ගෙන ඒමට අපහසු බවයි. මේ නිසා මනාලියගේ යෙහෙළියන්ගේ හැඩගැන්වීම්වලට නිවැරැදි නිගමනයකට එළැඹීමට රූපලාවණ්‍ය ශිල්පියාට නොහැකි වෙනවා. ඉතින් මංගල දින උදෑසන තමයි කිසිදු පෙර සූදානමක් නොමැතිව හැඩ ගැන්වීම් කටයුතු කරන්නට සිදුවන්නේ.

එවිට හිස කෙස්වලට තෙල් දමා තිබීම, හිසකෙස් හරිහැටි සකසා නොතිබීම, ඇහිබැමි සකසා නොතිබීම, අනවශ්‍ය රෝම ඉවත්කර නොතිබීම, නිය ක්‍රමවත්ව සකසා නොතිබීම, මුහුණේ කුරුලෑ ලප කැළැල් තිබීම වැනි ගැටලුවලට මුහුණ දෙන්නට රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට සිදුවනවා.

විලාසිතා තෝරාගැනීම

දෙවෙනි මනාලියන් සඳහා තෝරාගන්නා විලාසිතා, ඒවායේ වර්ණ ආදිය මනාලිය හැඩගන්වන ආකාරය සහ ඇයගේ ඇඳුම්වල වර්ණ අනුව ගැළපීම ඉතා වැදගත්. මනාලිය සැරසෙන්නේ උඩරට ක්‍රමයට නම් දෙවෙනි මනාලියන්ගේ විලාසිතාවන් ද එයට ගැළපෙන සේ වියයුතුයි. මනාලිය පහතරට හෝ බටහිර ක්‍රමයට සැරසෙනවා නම් දෙවෙනි මනාලියන්ගේ ඇඳුම් විලාසිතාවන් ද ඒ අනුව ගැළපී තිබීම අත්‍යවශ්‍යයි. 




දෙවෙනි මනාලියන් සංඛ්‍යාව

දෙවැනි මනාලියන් තෝරා ගන්නා විට මේ ලිපියේ මුලදී සඳහන් කලාක් මෙන් අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී දකින්නට පුළුවන්. මෙය අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේදී ද ගැටලු මතුවෙන්නක්. හැමවිටම තමන්ට ගැළපෙන ලෙස දැරිය හැකි ලෙස තමන්ට පහසු විදිහට කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. නැතිනම් සිදුවන්නේ මංගල උත්සවයෙන් පසු දෙදෙනා එක්ව ජීවිතය විඳිනවා වෙනුවට මංගල උත්සවය සඳහා ගත් ණය පියවා ගැනීමට සැලසුම් සකස් කරමින් ලතවීමට සිදුවීමයි. ඒ නිසා තමන්ගේ මට්ටමට වැඩ කටයුතු කිරීම වැදගත්.

කේයස් කවියාණෝ


 කේයස් කවියාණෝ 



සාගර පලන්සූරිය මහතා ප්‍රවීන ලේඛකයකු මෙන්ම කවියකුද වන සාගර පලන්සූරිය මහතා 1910 රත්නපුරයට නුදුරු කළල් ඇල්ල නමැති ගමෙහි උපත ලැබුවේය. එතුමා කළල් ඇල්ලේ ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවේය.

වෘත්තීමය ගුරුවරයකු ලෙස තම සේවය ආරම්භ කළ පලන්සූරිය මහතා විද්‍යෝදය පිරිවෙන, කොළඹ ආනන්ද හා නාලන්ද යන බෞද්ධ විද්‍යාලවල මෙන්ම මොරටුවේ වේල්ස් කුමාර විදුහලේද කලක් සේවය කළේය. එසේම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස යාපනය ප්‍රදේශයේ ද මෙතුමා සේවය කළේය.

මුල් කාලයේදී පලන්සූරිය මහතා කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර පසු කාලයේදී ඒ නම සංක්‍ෂිප්ත කිරීමෙන් තනාගත් ‘කේයස්‘ යන නම භාවිතා කළේය. ශාසනික හා සමාජීය සේවාවන් කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ ඒ මහතා ලේඛන කලාවෙහිද නිරන්තරයෙන්ම නියැළුනේය. තුරුණු වියේ සිටම පුවත්පත් සඟරා ආදියට කවි හා ලිපි සැපයීමෙන් තම රචනා ශක්තිය මුවහත් කරගත් ‘කේයස්‘ කිවිඳු පසු කලෙක ‘සුදෝ සුදු‘ කාව්‍යය රචනා කිරීම හේතුවෙන් මහත් ජනප්‍රියත්වයට පත් වූයේය. මෙම ‘සුදෝ සුදු‘ කාව්‍යය ටෙනිසන් නමැති ඉංග්‍රීසි කවියාගේ ‘ඊනොක් ආර්ඩන් (ENOC ARDEN ) නම් කාව්‍යය ආශ්‍රයෙන් රචනා කරන ලද්දකැයි සැළකේ.

මෙතුමා අග්‍රගන්‍ය කාව්‍ය රචකයකු පමණක් නොව දක්ෂ දේශපාලඥයකු ලෙසද ප්‍රකටය. හොරණ ආසනය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස මෙතුමා කටයුතු කළේය. එසේම තම ජීවිතයේ අවසාන භාගයේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංවිධායක ධූරයද දැරීය. හෙළ කවි බිම මහාර්ඝ කාව්‍ය පුෂ්පයන්ගෙන් අලංකරණය කිරීමට දායක වූ කළල් ඇල්ලේ ආනන්ද සාගර පලන්සූරිය නම් වූ මේ ශ්‍රේෂ්ඨ කාව්‍යධරයා 1961 ජූනි 22 දින අප අතරින් සදහටම සමුගත්තේය.

සාගර පලන්සූරිය මහතාගේ පද්‍ය කෘති

මල්හාමි
විසිවුණ තරු
අපේ ඇත්තන්ගේ විත්ති
කාලකණ්නියා
කැළණි විත්ති
කන්දේ ගෙදර
පිළිරුව 
පරිණාමා

පරිණාමා 

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස

ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
 
උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.

සිඟිති පා සලා හනිකට එන්න


 සිඟිති පා සලා හනිකට එන්න 



එන්න දුවගෙන එන්න
සිඟිති පා සලා හනිකට එන්න
දූට පෙන්නන්න කඳුලක්
මෙතැන තියෙනවා

කම්මුලේ තැවරෙනා
හාදුවක කිරි සුවඳ
මගේ නැහැ පුඩු අතර
දුව ඇවිද නටන කොට
ජීවිතේ මහා බර ලිහෙනවා
නිල් කැටේ වගේ පෑදුණ
පුංචි ඇස් දෙකේ සීතලෙන්
මගේ හිත හෙමි හෙමින් නිවෙනවා

මල් කැකුළු ගිනි වැදී
ළපලු පත් බිය වැදී
දුකින් ඇස් පිරෙන විට
හලාහල විස පිරුණ
මේ නපුරු ලොවම ගැන
මහා තරහක් හිතට දැනෙනවා


පෙන්වන්න දුකයි මට ඒ පැත්ත
වැඩියි බර වැඩියි දුක
ඔය පුංචි ඇස් වලට

අර අතන පොඩි වෙච්ච මල් පියලි
නටු අගම කටු අතර ලේ බිංදු
වරල් කඩදහි ඉරුණ සමනල්ලු
පලා පරඬල් රකින රැකවල්ලු
රළු බොරලු මාවතේ පෑගිලා කඳුළු බිඳු
අනේ ඉකි ගස ගසා හඬන හැටි
බිලිඳු දලු ඇහැ තුඩින්
පලිත පත් මතට අද හැලෙන
උණු පිනි බිංදු
මම කොහොම වසංගන්නද දූට?

ලෝක සිතියම් පොතේ
පුසුඹ විසිතුරු පැහැය
කිලිටි අත් අතරේම වහං වී
දියවෙලා කිසිදාක
කියවන්න බැරි ලෙසට


දූ දන්නේ නෑ දුවේ
ගුලිකරන් ඉන්න ඔය පොඩි අතේ
හෙට දවස හැංගිලා ඉන්නවා
සඟවගෙන ඉන්න බෑ හැමදාම
හෙට උදේ හැබැහින්ම පිපෙනවා!
උදාවන උදෑසන අලුත් උණුසුම් එළිය
දූගෙ එක හාදුවක තියෙනවා!
හෙට උදේ පීදෙන්න
දූගෙ හසරැල්ල ළඟ
මම මගේ ජීවිතය තබනවා!
අන්න! අර හිනා කට
දූත් එහෙනම් ඒක දන්නවා ? 

                                                                             උ ගැ

Saturday, July 22, 2017

සිබිල් ගේ හා රත්න ශ්‍රී ගේ සුසංයෝගය

සිබිල් ගේ හා රත්න ශ්‍රී ගේ සුසංයෝගය..




සිබිල් වෙත්තසිංහ අපේ රටේ ජීවත්වන විශිෂ්ඨතම සාහිත්‍යවේදිනියකි. ලිවීමේ හා ඇඳීමේ කළාව අතින් ඇය තවමත් මුදුන් තලයේ සිටින කලාකාරියකි. ඇය මේ වන විට තම දිවියේ නව වැනි දශකය පසු කරමින් සිටී.
ඇගේ විශේෂත්වය වන්නේ වැඩිහිටියන්ගේ කෝණයෙන් දරුවන් දෙස නොබලා දරුවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලෝකය දෙස බැලීමයි. ඇගේ බොහෝ ළමා කතාවල සීයලා , ආච්චිලා දක්නට ලැබේ. මේ අයගේ මන්දස්මිතිය දරුවන්ගේ සිත් පැහැර ගනී.





රත්න ශ්‍රී විජේසිංහ කවියා ලීයූ පරමල් කාව්‍ය නිර්මාණය සාකච්ඡාවට ගත යුතුය.
බලන් මේ මල්හී පරමල් සුවඳ
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලෙක
මහළු මව් කෙනෙකුගේ මුව රැදුණු
සිනාවක් සේ ප්‍රෙමයෙන් පිරුණ
පරමල් කවියෙහි ඇතුළත් මේ පේළි හතරෙහි මහළු වියෙහි ජීවන සත්තාව පිළිබඳ අපූරු නිරීක්ෂණයක් පවතී.
මහළු මවු කෙනෙකුගේ සිනහව ප්‍රේමයෙන් වෙළි පවතී. මිත්තණියගේ සීදේවිකමෙහි රහස එම සිනාව සහ සීමිත ඇඳුමෙහි නොකිළිටි ගතිය යැයි සිතේ. රත්න ශ්‍රී කවියාගේ කවිපද මදක් විස්තර කිරීමෙන් පසුව මන්දස්ම්තියෙන් සුන්දර වූණු වියපත් කාන්තාවගේ මුහුණෙහි චිත්‍රය අපූරුය. එය වැටහෙන තරම් මෘදු හදක් ඇත්තවුන්ට රත්න ශ්‍රී කවියේ අරුත වටහාගැනිම පහසුවෙයි. තරුණ යුවලක් තම සිඟිති දරුවාගේ හැඩීම නවත්වා ගැනීමෙහිලා අසමත් වෙයි. දන්නා නැළවිලි ගීයක් ද නොමැති නිසා වඩාත් අසරණ වෙයි.
 කෝ දියල්ලා ඔය පැටියා මෙහාට
මෙවන් අවස්ථාවක මිත්තණිය මැදිහත් වෙයි. මිත්තණියගේ ළයෙහි උණුසුමින් දරුවා සන්සුන් වෙයි.ඇයඟේ සීදේවි සිනහව දරුවාට රසදුනකි. පරවුණු කැඩුණු මල්පෙති වල ද මුදුමෙළොක් බවක් තිබේ. පේමයෙන් පිරුණු සිනාවක් තිබේ. එසේ හෙයින් ඒ මල් පාගා දැමිය යුතු නැත. රත්න ශ්‍රී ගේ කවියේ යටිපෙළ අරුත සුන්දරය.

රත්න ශ්‍රී ගේ කවිය සමඟ සිහිපත් වන සිබිල් ගේ ළමා කතා වල මහළු චරිත අපට නිහඩව බොහෝ දේ කියයි. සිබිල් ගේ ළමා කාලය එක් අවස්ථාවකදී මෙසේ සනිටුහන් වෙයි.

මගේ අකමැත්තෙන් ගමේ ඉදලා කොළඹ එක්කන් එනකොට මට වයස අවුරුදු හයක් විතර ඇති. මම හරිම දුකින් ආවේ. ඒ මගේ පුරුදු පරිසරය දාලා එන්න බැරිව. මගේ හඳවත එතැන නැවතුනා. ඒ හැඟීම එලෙසම පැවතුණා. වැඩිහිටියෙකු හැටියට මම ලියන , අඳින හැමදේම අවුරුදු හයේ දැරියගේ හැඟීම ස්පර්ශ කරනවා. ඒ තමයි මගේ චිත්‍රය , මගේ සාහිත්‍යය. ඒ කුඩා දැරිය තමයි මගේ අභ්‍යන්තරයේ ජීවත් වෙන්නේ,

සිබිල්ගේ මේ ප්‍රකාහය අව්‍යාජය. සිබිල්ගේ කතාවල මිත්තණියගේ අතේ එල්ලී ගමන් කරන දැරිය ප්‍රීතිමත්ය. මිත්තණියගේ ප්‍රසන්න බව , මුදු මොළොක් ඇමතුම , ආදරය දැරියගේ හඳවතට ජීවන රසාකරයකි.

පඩිපෙළින් බැස අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි එන අයට ඉඩදෙන්න
එපා පරමල් පයින් පාගන්න

රත්න ශ්‍රී ගේ පරමල් කවිය ඇරඹෙන්නේ එසේය. ඔහුගේ දෙවෙනි කවිපොත වන 1985 දී පළ වූ වස්සානයේ කෘතියට එය ඇතුළත්ය. රත්න ශ්‍රී ගේ කවිය හා සිබිල් ගේ ළමා කතා වල සැසඳීම සුන්දරය. අරුත්බරය. ඒ බව හැඟෙන්නේ පරමල් සුවඳ කවි අංකුර එක්පෙති දෙපෙතී වී පොළොවෙන් උඩට නැඟෙන කල්හිය.

                                                                                                                 උ ගැ

Friday, July 21, 2017

වසංගතය ගොඳුර බවට පත් වූ පවුලක මානසික අරගලය It Comes At Night..

වසංගතය ගොඳුර බවට පත් වූ පවුලක මානසික අරගලය. It Comes At Night..


ත්‍රාස්‍යජනක මනෝවිද්‍යාත්මක කතාවක් නැරඹීමේ අවස්ථාවක් දැන් ලොව පුරා ප්‍රේක්ෂකයන් හට හිමිව තිබේ. භීතිය මිනිසා දරුණු යක්ෂයෙක් බවට පත්කරන ආකාරය මෙහි අඳුරු බහුමාන රූපරාමු තූළ ඇඟ කිළිපොලා යන සංගීතයට මුසුව අපූරුවට සටහන් වී ඇත.

භීතිය හා ත්‍රාසය කැටිකොට ගත් චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ප්‍රසිද්ධ සිනමාකරු එඞ්වර්ඞ් පිල්ට්ස්ගේ මෙම නවතම නිර්මාණය වන It Comes At Night..   තිර කතාවද ඔහුගේම අතින් ලියවුණකි.

ලෝකය පුරා මිනිසුන් බිලිගන්නා දරුණු වසංගතයක් පැතිර යද්දී පෝල් ඔහුගේ බිරිඳ සාරා පුතු ට්‍රැව්ස් වන පෙතක කෙළවර හුදෙකලා නිවෙසක තනිවෙයි. චිත්‍රපටය ඇරඹෙන්නේ තදින් හුස්ම ගන්නා හඩකින් හා ගෑස් මුහුණු ආවරණ තුළින් කිහිප දෙනෙකු අතර ඇතිවන සංවාදයක් සහිත අඳුරු රූපරාමු සමූහයකිනි.

ඔයාට මාව ඇහෙනවද?“ තාත්තා මං ඔයාට ආදරෙයි. ඒත් මේ දුප්පෝෂක ලෝකේ අපි ආදරය කරන අයවත් මරන්න වෙලා තියෙන්නේ. මේ වෙලාවේ වසංගතය බෝවුණ වසංගත රෝගීන්ව වගේම වසංගත ඥාතින්ව වෙඩි තියලා ගිනිතියා දාන එකයි වෙන්නේ. මේ ත්‍රාසජනක වදන් අතරින් සරාගේ හඬ නැගි එන්නේ “එයා ඒක නොදකින්නයි තිබ්බේ“ යනුවෙන් සිය පුතු ගැන සඳහන් කරමිනි. කතාව දිග හැරෙන්නේ තමන්ගේ පියා සීයාට වෙඩි තබා මරාදමන අයුරු දැක කම්පනයට හා තැවුලට පත් කුඩා ට්‍රැව්ස්ගේ ඇසින් දුටු කතාවක් ලෙසිනි.






පෝල් වසංගතයට ගොදුරු වු සිය පියා වෙඩිතබා මරා ගිනි තැබූ පසු බලකොටුවක් මෙන්ම හිරගෙයක් බඳු වු නිවසේ සිය බිරිය සහ පුතා සමඟ තනිවෙයි. සීල් තැබූ කොරිඩෝවක කෙළවර ඇති එක් රතු පැහැති දොරකින් සෙසු ලෝකයාට හිමිවන මෙම තාවකාලික හිරගෙයට තවත් පවුලක් කැඳවාගන්නට පෝල්ට බලකෙරේ. ඔවුන් අතර හටගන්නා මානුෂික සබඳතා හා මානුෂික ගැටුම් , සැකය , වසංගතය හේතුවෙන් ඇති වූ භීතියේ කම්පනය . ආදරය , සෙනෙහස මේ සියල්ල මැද සිය ජිවිත ගලවා ගැනීම උදෙසා සිදුකරන අරගලය විශිෂ්ඨ කැමරාකරණයක් තුළින් ප්‍රතිනිර්මාණයට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත්තේ ප්‍රේක්ෂකයා ත්‍රාසයෙන් ලොමු ඩැහැ ගන්වමිනි.

වසංගතය පැතිර ගිය සෙසු ලෝකයෙන් ඈත්ව තනිව සිය ජීවිත බේරා ගන්නට සිතූ සරාට සහ පෝල්ට අන්තිමේදී වසංගතයේම ගොදුරු බවට පත්ව තනිවන්නට සිදුවන ආකාරය It Comes At Night..  බොක්ස් ඔෆිස් වාර්තා දිනූ චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැක.





ඩොලර් මිලියන පහක වියදමින් තැනූ මෙම චිත්‍රපටය මුල් දින කිහිපය තුළදිම ඩොලර් මිලියන 17 . 1 ක වාර්තාගත ආදායමක් උපයා තිබේ. බ්‍රයන් මැක්ඔම්බර් මෙහි ඇති ඇඟ කිලිපොලා යන සංගීතය නිර්මාණය කොට තිබේ. 

Thursday, July 20, 2017

සියවස් ගණනාවකට එහා යුගයේත් නූතන සන්නිවේදන විප්ලවවාදියා වන ජංගම දුරකථනය තිබිලා..

සියවස් ගණනාවකට එහා යුගයේ ජංගම දුරකථනය 



ජංගම දුරකථනය යනු අද කාලයේ නැතිවම බැරි තාක්ෂණ උපකරණයක් යැයි කීම නිවැරදියි. හුදෙක් ඇමතුම් ලබා ගැනිමේ උපකරණයක සිට එය කෙටි පණිවිඩ යැවීම , ඡායාරූප ගැනීම , වීඩියෝ කිරීම , ශ්‍රව්‍ය පටිගත කිරිම් , අන්තර්ජාලය , පරිගණක කටයුතු ආදී බොහෝ දෑ එකමිටට ගත් උපකරණයකි. ජංගම දුරකථනයේ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එහි පියා ලෙස හැදින්වෙන්නේ මාර්ටිං කූපර්ය. ඒ මෝටරෝලා සමාගම වෙනුවෙන් රාත්තල් හතර හමාරක් බරැති ජංගම දුරකථනය නිපදවමිනි.

එහෙත් ජංගම දුරකථනයේ ඉතිහාසය අළුත් කරවන සොයාගැනීමක් පසුගිය දා ඔස්ටි්‍රයාවෙන් වාර්තා විය. එනම් මැටියෙන් තැනූ ජංගම උපතරණයක් වැනි යමක් ඔස්ටි්‍රයාවේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදී සොයාගැනීමය. එහි කාල නිර්ණය කළ පුරාවිද්‍යාඥයන්ට අවධාරණය  වූයේ එය 13 වන සියවසට අයත් බවයි. එහි තවත් විශේෂ ලක්ෂණයක් වූයේ සුමේරියානු හෙවත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය යුගයට අයත් කූඤ්ඤාක්ෂර එහි දක්නට ලැබීමයි.

මෙම කෞතුක වස්තුවේ අපූර්වත්වය වනුයේ 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේදී වෙළඳපොළට නිකුත් වූ ජංගම දුරකථනයට සෑම අතින්ම සමාන ස්වරූපයක් එහි තිබිමයි. ජංගම දුරකථනයේ තිරය යැයි සැළකිය හැකි කොටස් දක්නට ලැබෙන අතර ඉන් පහළ මෙනු බටනය ඇතුළු ජංගම දුරකථනයක දක්නට ඇති සාමාන්‍ය යතුරු සියල්ලම පාහේ දක්නට  ලැබේ. මෙම යතුරු පුවරුවේ යතුරු බටන සාමාන්‍ය දුරකථනයක මෙන් 9 කි. කෙසේ නමුත් සුමේරියානු අක්ෂර හදුනාගැනීමට ඇති නොහැකියාව නිසා මෙම අරුම පුදුම දුරකථනය ගැන තොරතුරු තවමත් අභිරහසකි.



එනම් හඳුනා නොගත් පියාසර යාත්‍රා සහ ඒ හා බැඳුණු පිටසක්වල ජීවීන් අතර සබැඳියාවක් ගැන තොරතුරු හෙළිදරව් වන බවය. එනම් 13 වන සියවසේදි දියුණු පිටසක්වල ජීවින් පිරිසක් පෘථිවියට පැමිණ ඇති බවත් එම ජංගම දුරකථනය එවැනි පිටසක්වල ජීවින්ට අයත් වූවක් බවත් සඳහන් කරමින් අළුත් මතයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙම මතයට තවත් සහයක් ලෙස ඔවුහු ඉපැරණි ඊජිප්තු සිතුවම් කලාව ආශ්‍රිත උදාහරණ ද ගෙනහැර දක්වති. එනම් ඊජිප්තු හා පැරණි යුරෝපිය චිත්‍රවල ජංගම දුරකථන හා ලැප්ටොප් දුරකථන යැයි අනුමාන කල හැකි සිතුවම් රැසක් පවතී. මේ හේතුවෙන් පිටසක්වල ජීවීන් හා පෘථිවිය අතර වාර්තා නොවූ ඉතිහාසයක් පවතින බවට ද මේ සියළු සාධක ඔස්සේ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

Ancient codeවෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම සොයාගැනීම හා බැදුණු අරුම පුදුම කාරණා දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ වර්තමාන ඔස්ටි්‍රයාව හා පැරණි මෙසපොතේමියාව (වර්තමාන ඉරානය හා ඉරාකය) අතර පවතින කිලෝ මීටර දහස් ගණනක දුරස් බවයි. එනම් සුමේරියානු අක්ෂර වලින් යුත් මෙවැනි දෙයක් ඔස්ටි්‍රයාවෙන් හමුවීම අතිශය පුදුම සහගත දෙයකි. අනෙක් කාරණය වන්නේ මෙම කෞතුක වස්තුව සෑම අතකින්ම වර්තමාන ජංගම දුරකථනයට සමාන වීමයි.

ඒ අනුව මෙම වෙබ් අඩවිය අනුමාන කරනුයේ අතීතයේ සිටි යම් අයෙක් නූතන ජංගම දුරකථනය වැනි උපකරණයක් දැක ඇති බවත් එම සන්නිවේදන උපකරණය මැටියෙන් නිර්මාණය කොට ඇති බවත්ය.
ඒ අනුව නුතන සන්නිවේදනයේ විප්ලවවාදියා බවට පත්ව ඇති ජංගම දුරකථනයේ තතු ශිෂ්ඨාචාර යුගයේ සිටම ක්‍රම  ක්‍රමයෙන් පැවත ආවක් බව අවධාරණය වේ.

Friday, July 14, 2017

දුක - සතුට දිනුම - පැරදුම විදගන්නට විශිෂ්ඨ ආභරණයක්..

  ඉවසීම.. 



අහිමි අහසක  - ඉරබටු තරුවක්ව
 

දිදුලන්න
 

නොමැත හිමිකමක්

අහිමි පොළවක -  වැලි කැටයක්ව

හිනැහෙන්න
 

නොමැත වරමක්

සිහින ලෝකෙක -  අහිමි සිහිනෙක
 

තනිවෙන්න
 

නොමැත වාසනාවක්
 

නමුදු

දුක - සතුට

දිනුම - පැරදුම

විදගන්නට
 

විශිෂ්ඨ ආභරණයක්..

ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කළ කලාකරු අමරසිරි පීරිස් ගේ තවත් ගීයක්



ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කල අමරසිරි පීරිස් ගේ තවත් ගීයක් 



ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය. ඒ අතුරින් මා මෙවර තෝරා ගන්නේ ඉරි තැළුනු වළා ගීතයයි. මෙයින් කියවෙන්නේ පාරේ යන පෙම් යුවලක් පිලිබඳවද නැතහොත් වෙනත් දෙයක් පිලිබඳවද? සරල ලෙස ගීතයට සවන් දෙන අයෙකුට හැඟී යන්නේ කිසිම තේරුමක් නැති පාරක් කහ ඉරක් ගැන ඔහේ කියවෙන වදන් පෙළකි. නමුත් මා හට හැඟුනේ වෙනත් අරුතකි. මෙයින් ගෙන හැර පාන්නට උත්සාහ කරන්නේ වර්තමාන සමාජය පිලිබඳවයි.

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු  මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

රිය පෙලේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා


රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...

                                                                                                                         උ ගැ

කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින්

කල්වාරි පාලමෙන් එගොඩ වී කල්වාරි පුදබිමට බැතිසිතින් 


ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම පුදබිමක් වන කල්වාරී පුදබිම ස්වර්ගස්ථ වු සිරිල් එදිරිසිංහ පියතුමන් මීට වසර 68 කට ඉහතදී නිර්මාණය කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතා මනරම් ප්‍රදේශයක් වන හිනිඳුම ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය අලු බදාදායින් ආරම්භ වන වතාරික සමය තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වේ.

සියඑ මිනිසුන්ගේ පාපයේ වන්දිය ගෙවනු පිණිස ජේසුස් වහන්සේ සිය අපරිමිත කැපකිරීම කලේ ජෙරුසලමේ කල්වාරිය නොහොත් පුකපාල කඳු මුඳුනේය. උන් වහන්සේ දුක්ඛ ප්‍රාප්තියට ගෙන ගිය ආකාරය බයිබලයේ සඳහන් පරිදී එහි ප්‍රතිනිර්මාණය මෙහි කර තිබේ යැයි කියනු ලැබේ. මෙහි ඇති ප්‍රතිමා කතෝලික භක්තිකයෙකු පමණක් නොව ඕනැම ආගමික භක්තිකයෙකු වුව ද අතිශයින් සංවේදී කරන අයුරින් නිර්මාණය කොට තිබේ. අතිශය සංවේදී වු ද , හැඟීම්බර වු ද එහෙත් කළාත්මක අයුරින් වනගත පරිසරයක නිර්මිත මෙම කල්වාරිය තිබෙන්නේ තවලම හිනිදුම දේවස්ථානය ඉදිරිපිට කඳුගැටය ආශ්‍රිතවය. මෙම කල්වාරී දේවස්ථානය හා ඒ කුරුස කන්ද පිළිබඳ ව ඇත්තේ අපූරු කතන්දරයකි.
ගාල්ල නගරයේ සිට කිලෝමීටර 49 ක් පමණ දුර ගියවිට හිනිදුම ප්‍රදේශයේ මෙම පුදබිමට ළඟා විය හැකිය. මෙයට වසර 70 ක පමණ ඉපැරණි ඉතිහාසයක් ඇත. 1948 වසරේදී සිට මෙම පුදබිම සිරිල් එදිරිසිංහ පියතුමාත් සමඟ ඉතිහාසයට එකතු වී ඇත.


1948 වසරේ මහසිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක පල්ලිය ඉදිරිපිට කන්දේ ගින්නක් හටගෙන ඇත. මෙය පල්ලියට අයත් බිම් කොටසක් බැවින් පියතුමා බැතිමතුන් සමඟ එක් වී මෙම ගින්න නිවීමට රාත්‍රිය පුරාම කටයුතු කොට ඇත. නමුත් පසුව දා උදෑසන කොළ පාටින් දිස් වූ කන්ද වෙනුවට දැවී ගිය අඟුරු පැහැති කන්දක් දක්නට ලැබී ඇත. ඒ අතරේ පියතුමා විසින් විශේෂ දෙයක් දැක තිබේ. එනම් කන්දේ ගිනිගත් ගස් අතර ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීමයි. මෙය දුටු පියතුමා තවත් බැතිමතුන් සමඟ කන්ද නැඟ එසේ දිස්වුණූ ගස් තිබුණු තැන් ලී කුරුස වලින් සටහන් කර තිබේ.පසුව මෙම පියතුමා ඔහුට හමු වූ දක්ෂ බුදුපිළිම නෙළන්නෙක් ලවා එම සටහන් කල කුරුස ඇති ස්ථාන වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කොය ඇත.
1958 දී මෙය ඩියෝසිසන් පුදබිම ලෙසින් නම්කර තිබේ. පුදබිම වන්දනාමාන කිරීමට කන්ද මුලින් ඇති ගිංගඟ හරහා ගොස් වන්දනා කරන්නට බැතිමතුන්ට සිදුවිය. වන්දනා කරන කාලයේදී ගඟ හරහා පාලමක් සෑදුව ද ගඟ පිටාර ගලන කාලයේදී එම පාලම විනාශ විය. පසුව 1994 දී බීඞ් සිල්වා පියතුමාගේ අධීක්ෂණය යටතේ කොන්ක්‍රීට් පාලමක් ඉදිකල  අතර එය ද 2003 වසරේ බලපෑ ගංවතුරෙන් විනාශ විය. පසුකාලයේදී බොනිෆේස් පියතුමා විසින් වත්මනේ දක්නට ලැබෙන කල්වාරී පාලම සකස් කොට බැතිමතුන්ට කල්වාරී පුදබිම වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇත.
ඒ  අනුව වර්තමානයේ ඉතා සුප්‍රසිද්ධ හා ඓතිහාසික පුදබිමක් ලෙසට කල්වාරි පුදබිම හැදන්විය හැකිය.

විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද?


විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක ද? 




 








ඈත අතීතයේ සිටම විසි පොරොන්දම් පරික්ෂාව තුළින් සහකරු හෝ සහකාරිය එකිනෙතාට ගැළපෙන්නේ ද යන්න සොයාබැලීම සිදුකරයි.වෙනත් හේතූන් වලට වඩා විසි පොරොන්දම් පරික්ෂාව තුළ සියල්ල සාර්ථක වනු ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. ඒ අනුව පැහැදිලි වන්නේ විසි පොරොන්දම් නිවැරදිව ගැළපීම තුළ ම සාර්ථක විවාහයක් ඇති වන බවයි. එහෙත් සාමාන්‍යයෙන් පොරොන්දම් විස්සක් පරික්ෂා කල ද අඹුසැමි යුවලකගේ බැඳීම් සාර්ථක වීමට බලපාන ප්‍රධාන කරුනු පහකි.
                  

                    ආයුෂ
                    දරුපල
                    සතුට
                    දියුණුව
                    සැප
 

මෙම කරුණු 05 තුළ යුග දිවිය සාර්ථක වෙයි. මින් එක් අවස්ථාාවක් හෝ මඟහැරී ගිය විට යුග දිවිය දෙදරා යාමට හෝ හෝ ඔවුන් හඳවතින් දුක් විදින්නට හේතු වේ.  එලෙස සිදු වන්නේ නම් ඔවුන්ගේ බැඳීම් සියයට සියයක් ඇති වන්නේ නැත. නමුත් මෙලෙස විසි පොරොන්දම් සියයට සියයක් ගැළපී සිදු කළ විවාහ පවා කෙතරම් අසාර්ථක වූ අවස්ථා ඇත් ද? මෙයට බලපාන හේතු විමසා බැලිය යුතුය.මේ සඳහා පොරොන්දම් විස්සක් අතරින් එක් පොරොන්දමක් නිදසුනක් ලෙස ගෙන බලමු.
 

ආයුෂ පොරොන්දම මෙම පොරොන්දම් විස්ස අතර ඉතා වැදගත් වේ. මෙමඟින් යුවතිපති අතර වැඩියෙන්ම ජීවත් වන්නේ කවුරුන් ද යන්න ව්මසා බැලේ. නැතහොත් මුලින්ම මිය යන්නේ කවුරුන්ද යන්න සොයා බැලේ. පළමුව ආයුෂ පොරොන්දම බලන්නේ කෙසේද යන්න විමසා බලමු. එය මෙසේය. ස්ත්‍රීයගේ ජන්ම නැකතේ සිට පුරුෂයාගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. ඉන්පසු පුරුෂයාගේ ජන්ම නැකතේ සිට ස්ත්‍රීයගේ ජන්ම නැකත දක්වා ඇති සියලූම නැකැත් සංඛ්‍යාව ගණන් කරයි. එය විසි හතෙන් ගුණ කොට විසි අටෙන් බෙදා ශේෂය පසෙක ලියා ගනී. අනතුරුව මෙම දෙදෙනාගේ ශේෂ වු සංඛ්‍යා දෙකෙන් වැඩි සංඛ්‍යාව ඇති කෙනාට වැඩි ආයුෂ ද අඩු සංඛ්‍යාව ඇති කෙනාට අඩු ආයුෂ ලබා ප්‍රථමයෙන් මිය යන බව සඳහන් වේ. නමුත් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රය දුටු සැණින් ආයුෂ ප්‍රමාණය කිව හැකි බැවින් මෙම පොරොන්දම් ක්‍රමය කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැටඑවකි.
 

මනුෂ්‍යයාගේ මරණය ආකාර පහකට සීමා කොට ඇත.එය දැකිය හැකි යෝග ජොතීශයේ හොඳින් ඉස්මතු කොට ඇත. එය ජෛමිනි ජෙයා්තීශයේ මෙසේ පෙන්වයි. බාලාරීෂ්ඨ යෝගය යනු මිනිසෙකුගේ උපතේ සිට අවුරුදු 25 දක්වා කාලය තුළ මියැදීම ලෙන්වන යෝගය යි. මෙය තවත් කොටස් තුනකට බෙදේ. එහිදී ප්‍රථම කොටස අවුරුදු අට දක්වා ද දෙවන කොටස අවුරුදු අටේ සිට දහසය දක්වාද තෙවන කොටස අවුරුදු දහසයේ සිට විසි හතර දක්වා වෙයි.  අවුරුදු විසි පහේ සිට මන්දායුෂ යෝගය බලපාන අතර එය වයස අවුරුදු හතළිහ දක්වා පුද්ගල මරණයට බලපායි. අවුරුදු හතළිහේ සිට හැටදක්වා අල්පායුෂ යෝගයට අයත් වන අතර අවුරුදු හැටේ සිට එකසිය විස්ස අතර කාලයේ මියයන්නේ පූර්ණායුෂ යෝගයට අනුවයි. අවුරුදු එකසිය විස්වට වඩා ආයුෂ ඇත්නම් ඒ අපරිමිතායුෂ යෝගයට අයත් වුන් වේ.
 

එ්  අනුව විසි පොරොන්දම මතම පිහිටා විවාහයේදී කරුණු සම්පූර්ණ නොවේ. එයට එහා ගිය ජෙයා්තීශය කරුණු රැසක් මෙයට බලපායි. එමඟි්න් ආයුෂ , දරුපල , සතුට , දියුණුව හා සැප සම්පත් සපිරුණු සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක් ළඟාකර ගැනීමට හැකි වේ.