Tuesday, January 23, 2018

ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.



ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.

හැදින්වීම
 
අපරදිග සාහිත්‍යයේ සුවිශේෂ අංගයක් වූ නවකතා කලාව කල්යත්ම පෙරදිග සාහිත්‍යයේ ද සුවිශේෂ අංගයක් බවට පත් විය. ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන් හා ඇමෙරිකා වැනි සාහිත්‍යයන්හි නව මානයන් ඔස්සේ නිම් වළලු පුළුල් වෙමින් වර්ධනය වූ මෙකී සාහිත්‍ය කලාංගය යුරෝපාවතරණයෙන් අනතුරුව බටහිර ආභාසයෙන් මෙරට ප්‍රභවය ලැබූ බව ප්‍රධාන ධාරාවේ මතය යි. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ද පවතී. එනම් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෙරෙන් ම පෝෂණය ලබා සිංහල නවකතාවේ උපත සිදුවුණු බව ය.
 
නවකතාව විවිධ දිශානතීන් ඔස්සේ ව්‍යාප්ත වී ඇති සාහිත්‍යාංගයකි. එය මානව ජීවිතය විවරණය කරනු ලබන ගද්‍යමය ආඛ්‍යානයක් ලෙසින් හඳුනාගත හැකිය. තවද නවකතාව මානව සමාජය හා මිනිසාගේ ක්‍රියාකලාපයන් විග්‍රහ කිරීම සඳහා ලියන බවය. නවකතාව පිළිබඳව දක්වන නිර්වචන බොහෝ ඇතත් එක් නිර්වචනයක් විමසිමෙන් නවකතාව යන්න කුමක්දැ යි හඳුන්වමු. මැල්කම් කව්ලි නම් විචාරකයා නවකතාව නිර්වචනය කරනුයේ මෙසේය. කිසියම් වෙනස් වීමකට තුඩු දෙන පරිද්දෙන් චරිත සමූහයක් අන්‍යෝන්‍ය සම්බන්ධය ප්‍රකාශ වන්නාවූ ද, එක්වරකදී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්තවූ ද, දීර්ඝ එහෙත් ඒකාබද්ධ කතාවකි. උක්ත අදහසට අනුව නවකතාව යන්න පිළිබඳව යම් අදහසක් දැනගත හැකිය.
නවකතාව උපදිනුයේ ප්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය සෘජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙනි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබඳ ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාසය ද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප්‍රභේද හා ප්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප්‍රකාශනයකි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනු ඉතා ප්‍රකට කියමනකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තේ සදාතනික සත්‍යතාවකි. මිනිසා සිය ජීවිතය තුළ තමාට ශක්ති ප්‍රමාණයෙන් මනුෂ්‍ය ජීවිතයේ හා සමාජ අර්ථ සිද්ධියට කැපවිය යුතුය. එහිදී මිනිස් සිතේ ඇතිවූ සොඳුරු හැඟීම් පරිකල්පනය කරමින් ප්‍රතිභාව තුළින් නිර්මාණය කරන ලද කලා ආදිය හා සාහිත්‍යය බිහිවිය. එකී කර්තව්‍යය භාරතීයයන් හැඳින්වූයේ අපූර්ව වස්තු නිර්මාණාක්ෂමා ප්‍රතිභා යනුවෙන් ය. එනම් පෙර නොවූ අපූර්වත්වය දැනෙන දෙයක් නිර්මාණය කිරීම යනු එහි අදහසය. මෙහිදී සාහිතයේ මාධ්‍යය වනුයේ භාෂාවයි. ඒ ඕනෑම සාහිත්‍ය කෘතියක් ලියැවෙනුයේ භාෂාව පදනම් කොටගෙන නිසාය. ඒ නිසා සාහිත්‍යය යනු භාෂාවේ හාස්කමකි. මේ අනුව නවකතාවද භාෂාවේ ප්‍රධානත්වයෙන් ලියැවෙන නිර්මාණ විශේෂයකි. සාහිත්‍යයද ගස, පස හා චම්පු යනුවෙන් වර්ගීකරණය කළ හැකි අතර එයින් ගසය යටතේ ලියැවෙන ප්‍රධාන සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් නවකතාව හදුනාගත හැකිය. නවකතාව යනු කෙටිකතාවට වඩා වැඩියෙන් දිගු නිසා ඒ නමින් හඳුන්වයි. තවද නවකතාව යනු ප්‍රබල විඥානධාරාවක් ඔස්සේ මිනිසාගේ ජීවිතය වෙත හෙළන නිර්මාණයකි. එහිදී අත්දැකීම හා ඉන්ද්‍රීය සංජානනය අරමුණු කරගත් පංචේන්ද්‍රීයට දැනෙන දේ අත්දැකීමක් මාර්ගයෙන් කියාපෑම වනාහී නවකතාවේ ස්වභාවයයි. නවකතාව උපදිනුයේ ප්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබඳ ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මානයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප්‍රභේද හා ප්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිත වූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප්‍රකාශනයකි.
ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරීම.
 
2007 වර්ෂයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් වූ සමරවීර විජයසිංහගේ ස්වයංජාත නමැති නවකතාව ශ්‍රී ලංකීය සාහිත්‍යකරණයේ තවත් එක් පෙරළියකි. ශ්‍රී ලංකාවේ 2008 වර්ෂයේදී ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානයට පිදුම් ලැබූ මෙම නවකතාවේ කතා ප්‍රවෘත්තියට පසුබිම් වන්නේ යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත සුදුවැලිපොත නම් ගමකි. 19 වන සියවස අගභාගයේ සිට 20 වන සියවසේ මුල් භාගය දක්වා මෙරට දකුණු මුහුදුබඩ ආශ්‍රිත ගම් ප්‍රදේශ රට අභ්‍යන්තරයේ පැවති ගම් ප්‍රදේශයන්ට වඩා ඉක්මනින් එවකට යටත් විජිතවාදී බටහිරකරණයේ අනුහසට ගොදුරු වෙමින් පැවති ප්‍රධාන නගර වෙත සමීප වෙමින් තිබිණි. මෙකල මෙසේ ගම නගරය යා කරන පාලම තැනෙන්නට සාමාජික හා ආර්ථික හේතු තොරතුරු පමණක් නොව දැනුම එනම් අධ්‍යාපනය පිළිබඳ හේතු ද පැවති බව මෙම නවකතාවේ සමස්තය හෙළිදරව් කරයි.
ඒ අනුව මින් අනාවරණය වනුයේ යටත් විජිත සමයේ දකුණු මුහුදුබඩ පළාතේ ගම්පෙරළියක් නිරූපණය කිරිම කතුවරයාගේ මූලීක පරමාර්ථය විය. මීට අමතරව ඔහු තුළ තවත් මූලික පරමාර්ථයක් පැවති බව පෙනේ. එනම් කථා නායකයා වන විභූතිරත්න ගේ පියා පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමයි. එක් අතකින් එය ගැටළුවක් ද නොවේ. එනම් තම කෘතියට ස්වයංජාත යනුවෙන් නම තැබීමෙන් ම එම ගැටළුවට පිළිතුරු සපයා ඇති හෙයිනි.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි ව ජාතික අරගලයක මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැගීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ සමාජ පසුබිමයි.
විවාහ වී කලක් ගත වන තුරු දරුවකු නැතිකමින් දුකට පත් පබිලිනා හා උදේනිස් යක්කුටිගල හාමුදුරුවන් මුණ ගැසීමට යන්නේ ශාන්තිකර්මයක් කරවා ගැනීමට ය. කාලවර්ණ පෙනුමෙන් යුත් යක්කුටිගල හිමියන්ගේ රූපකාය මෙන්ම නාමකාය ද ගැමියන් තුළ බිය සහ ගෞරවය මිශ්‍ර වූ සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති කළේ ය.
ගැබ්ගත් එමලිනා තම දරුවා බිහි කළ පසු විශාල ඛේදවාචකයකට මුහුණපාන්නේ දරුවට යක්කුටිගල හිමියන්ගේ ම ප්‍රතිරූපයක් වීම හේතු වෙනි.
මේ සිදුවීම නිසා යක්කුටිගල හිමියන් හට වනගතව භාවනා කරන්නට සිදුවන අතර එමලිනා ගැරහුම්වලට ලක්ව වස කා මියයයි. විභූතිරත්න නම් වූ මේ සුවිශේෂී දරුවා සමාජයේ නිග්‍රහයට පාත්‍ර වුව ද ඔහුගේ කාලවර්ණ, විරූපී වත අතරින් අසාමාන්‍ය පෞරුෂයක් මතුව එයි.දුටුවන් බියට පත්කරවන පෙනුමකින් යුත් විභූතිරත්නගේ රූපකාය තුළ විකසිත ව ඇති උදාර ගති ඇති මිනිසා කටුකත්වය මැද උපන් මියුරු පලයක් වැන්න.
 
මෙසේ ආරම්භ වන මේ කතා පුවත පවුල් පරම්පරා දෙකක ජීවන විත්තිය ඔස්සේ සමාජ පරිවර්තනයක සුලමුල පිරික්සයි.
 
කතෘ ගේ අරමුණ ඉටුකරවා ගනු පිණිස කථා පුවත සකස්කර ගැනීමට , චරිත නිරූපණය කිරීමට හා ජීවිතය විවරණය කිරීමට කතුවරයා සමත් වී ඇත්දැයි විමසා බලනු වටී. යටගිය කාල පරිච්ඡේදයක් පාදකකොට ගෙන නවකතාවක් රචනා කිරීමට කිසියම් විශේෂ හේතුවක් තිබිය යුතුය. යටත් විජිත සමය පිළිබඳ සිය නවකතාව මඟින් එළිදරව් කිරීමට තරම් අර්ථයක් අත්දැකීමක් කතුවරයාට තිබූ බවක් මින් පැහැදිලි වේ.
කථාව ආරම්භ වන විට පබාවති හා මන්ද්‍රි යන තරුණ දියණියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කතා බහ කරමින් සිටින අතර ඩබ්ලියු ඒ සිල්වා මහතාගේ අලුතින් පළවූ සිරියාලතා නවකතාව ගැන සඳහන් වේ.  මෙහිදි පියදාස සිරිසේනගේ පරණ නවකතා වලට වඩා සිරියාලතා රසවත් බව පැවසේ. සිරිසේනගේ ප්‍රථම නවකතාව වන වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් පළ වූයේ 1906 දිය. සිල්වාගේ පළමු නවකතාව හෙවත් සිරියාලතා හෙවත් අනාථ තරුණිය පළ වූයේ 1909 දීය. ඒ අනුව දෙදෙනාගේ නවකතා අතර එතරම් කාල පරාසයක් දක්නට නොලැැබෙන බව සනාථ වේ. ඒ අනුව පබාවතී හා මන්ද්‍රී යන තරුණියන් විසිවන සියවසේ පළමුවන දශකය අවසානයේ තුරුණු වියෙහි සිටි දෙදෙනෙකු බව මින් අනාවරණය වේ. විභූතිරත්නගේ විචාර ලිපි වලින් කවිසිළුමිණ හා ගුත්තිල කාව්‍ය පිළිබඳ කියවෙන අදහස් මාර්ටිං වික්‍රමසිංහ විසින් පළමුවරට හෙළි කෙරුණු අදහස් වලට බෙහෙවින් සමානය. පැරණි සාහිත්‍ය කෘතීන් පිළිබඳ එබඳු අදහස් මෙරට ප්‍රචලිත වූයේ 1940 ගණන් වලින් පසුවය.
 
ඒ අනුව යටත් විජිත සමය පදනම්  කරගෙන නවකතාව ලිවීම කතුවරයාගේ අරමුණ විය. එහෙත් ඊට පසු අවධියට එනම් නිදහස ලැබීමෙන් පසු අවධියට අයත් පුවත් ද මෙයට ඇතුළත් වී තිබෙනු දැකිය හැකිය. බොහෝ චරිත කතාබහ කරන සිතන පතන ආකාරය මෙම කාලයට බෙහෙවින් සමානය. නමුත් යටත් විජිත සමය සිහිපත් කෙරෙන එකම මෙවලම නිතර දෙවේලේ එහෙ මෙහෙ යන බක්කි කරත්තය පමණි. ඒ අනුව ස්වයංජාත නවකතාව ලිවීමේදී කතුවරයා තුළ යටත් විජිත සමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව කතාවේ ඉහත සිද්ධි අනාවරණයෙන් පැහැදිලි වේ.
 
ස්වයංජාත නවකතාව පුරාවටම භාවාතිශය විස්තර ඉදිරිපත් කිරීම මඟින් සහෘද හදවත් ස්පර්ශ කිරීමට කතෘ 
සමත්ය. ඒවා අතිශයෝක්තියෙන් විස්තර කිරීමට කතුවරයා මහත් අභිරුචියක් දක්වා ඇති බව නවකතාව රස විදීමේදී අනාවරණය වේ. පබ්ලිනාහාමිගේ දරු උපතින් පසු ඇගේ නෑදැයින් ක්‍රියා කල ආකාරය භාවාතිශය ලෙස විස්තර කොට ඇත්තේ මෙසේය.
බොහෝ වේලාවක සිට කෙමෙන් උත්සන්න වන විළිරුදාවෙන් වේදනා විදිමින් සිටි පබ්ලිනාහාමි මැදුම් රැය 
පසුවී හෝරා තුනකට පමණ පසුව පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළාය. දරුවා අතට ගත් මහළු වින්නඹුවගේ මුවින් එක්වරම පිටවූයේ පුදුමයත් සංවේගයත් මිශ්‍රව නැඟී යටපත් කල හඩකි.
දෙයි හාමුදුරුවනේ....
 
මේ හඬ ඇසී තැතිගත් පබ්ලිනාහාමිගේ මව වූ අගිදහාමි වින්නඹුව ළඟට ලංවූයේ එවැනිම යටපත් කළ හඩකින් මෙසේ කියමිනි...
 
කොහෙන්ද නංගියේ මූ පබ්ලිනාහාමිගේ බඩට රිංගුවේ...
අම්මල දූල යස අගේ ඇති වැඩක් කොරලා තියෙන්නෙ. මේවා මහ විලිසංගේ නැති වැඩ. ඒක දැනගන්නවා හොඳයි. දැන් ඉතිල පණ නහගන්නයි වෙන්නේ. කොහොමද දෙයියනේ අපි රට්ටුන්ට මුහුණ දෙන්නේ. උඹලට නම් හොඳක් වෙන්නේ නැහැ.... (22 පිටුව)
 
කථාව අවසන් කොට ඇත්තේ ද මීට බෙහෙවින් සමාන වූ අතිශයෝක්තියෙන් කෙරෙන භාවාතීශය විස්තරයකිනි. තම විරුද්ධවාදීන්ට පහර දෙමින් බඩුමුට්ටු පොඩි කරමින් විභූතිරත්න හැසිරුණු ආකාරය පිළිබඳ විස්තරය කියවන විට දකුණු ඉන්දියානු රණකාමී චිත්‍රපට වල සතුරන් මර්ධනය කරමින් ජයග්‍රහණය කරන යෝධ ශක්තියෙන් යුත් වීරයන් ක්‍රියාකරන ආකාරය සිහියට නැඟෙයි.
 
විභූති රත්න ප්‍රකෝප කරවනු ලැබූ කුළු හරකෙකු මෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ගෙයි බඩු මුට්ටු පොඩිකර දමයි. ඔහු උරහිසින් ඇන පිඟන් බඩු ආදිය අසුරා තිබූ ලොකු අල්මාරියක් ද සාලය මැද බිම හෙළීය. බිදුණු පිඟන් කටු හා වීදුරු සාලය මැද ඒ මේ අත විසිරිණි... (263 පිටුව)
 
ඒ අනුව කතාවේ ආරම්භය මෙන්ම අවසානය ද භාවාතිශය අන්දමින් දක්වමින් සහෘදයාගේ හදවත් සන්තර්පණය කර ඇති ආකාරය අපුරුය.
 
මෙම නවකතාවේ වීරයා වනුයේ විභූතිරත්නය. එය නිරූපණය වනුයේ විකෘති සිරුරකින් යුත් පුද්ගලයෙකු ලෙසය. ශරිර ලක්ෂණ පමණක් නොව දක්ෂතා හා ක්‍රියා කලාපය අතින් ද ඔහු අද්භූත පුද්ගලයෙකි. ඔහු කරත්ත දැක්වීමෙහි යෙදී සිටින කරත්තකරුවෙකි. කුඹුරු වැඩපලවල නිරතව සිටින ගොවියෙකි. දේශිය වෙදෙකි. පුදුමාකාර අත්ගුණයක් ඇති පුද්ගලයෙකි. පුවත් පත් වලට සාහිත්‍ය විචාර සපයන්නෙකි. ඒ අනුව විභූතිරත්න යනු කතුවරයා විසින් අද්භූත ලක්ෂණ එක්තැන් කොට නිර්මාණය වූ මනකල්පිත වූත්  හා ව්‍යාජ වූත් චරිතයකි.
 
සෙසු චරිත පවා නිරූපනයේදි අතිශයෝක්තියට මුල් තැන දී ඇත. එමලිනා හා පබ්ලිනාහාමි රූමතියන් දෙදෙනෙකි. අනෙක් අතට පබාවති හා මන්ද්‍රී යන අයද රූමතියන්ය. අනෙක් අතට විභූතිරත්න මුංකැවුමක් වැනි අතිශය විරූපි පුද්ගලයෙකි. මේ අනුව කතුවරයා කුස ජාතකය හා සමාන කතාවක් ලිවීමේ අරමුණක් පෙරදැරිකරගත් බව ද පෙනේ.
 
එමලිනාහාමි ගැමි ගැහැණියක වුව ද ඇතැම් අවස්ථාවල ඇය තර්ක කරනුයේ උගත් බුද්ධිමත් ගැහැණියක් ලෙසින් බව ද පෙනේ. පබ්ලිනාහාමි ද එසේය. දියෝනිස් අප්පු යනු ගම්මුලාදෑනියා වන අතර වලව් පැලැන්තිය නියෝජනය කල වංශවත් කුල පරම්පරාවන්ගෙන් පැවැත එන නම්බුකාර සමාජ පරිසරයකට හිමිකම්කියන තැනැත්තෙකි. උදේනිස් අප්පු ඇතුළු එම පවුල් පරිසරය තුළ නිතර තම බලපෑම් ඉස්මතු කරයි. එරෝලිස් අප්පු ඇතුළු වෙද නිවස ද එසේය. ගැමිකම උපරිමයෙන් රකින ගමේ ජීවත් වන වැදගත් පවුලක් ලෙසින් නිරූපිතය.
මීට ඉහතදී ද සඳහන් කරන පරිදී නවකතාව නම්කොට ඇත්තේ ස්වයංජාත යනුවෙනි. පබ්ලිනාහාමිගේ දරුවාට යක්කුටිගල හිමියන්ගේ රූපය හිමිවූයේ කෙසේද යනු විමසා බැලීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. එය ස්වයංජාතව සිදුවූවක් බව දැක්වේ. නමුත් ඒ සිද්ධිය පබ්ලිනාහාමිට බලපෑ ආකාරයක් හෝ ඇය සියදිවි නසාගැනීමට පෙළඹවූ කරුණු පිළිබඳව හෝ සඳහන් නොවේ. කතාව ආරම්භයේම කතා නායිකාව සියදිවි නසාගැනීම ඇගේ සිතැඟි විවරණය කිරීමෙන් බැරෑරුම්කම අවබෝධ කරගත් කතෘගේ උපක්‍රමයක් වන්නට ද හැකිය. එය සහෘදයා තුළ කතාව අවසානය තෙක්ම පැන නගින කුතුහලයක් බව කිව යුතුය.
 
පබාවතී හා මන්ද්‍රී යන දෙදෙනා විභූතිරත්න හා පැවැත්වූ සම්බන්ධය බොළඳ නොගැඹුරු හෝ අස්වාභාවික 
ලෙස කතෘ විස්තර කොට ඇත්තේ මෙසේය.
 
ඒකට මොකද ඔයාට හොඳනම් ඔයා එහෙම කරන්න මට නම් බැහැ ඔයාලා දාලා යන්න. ඔක්කොටම වැඩිය මම කෙහොමද අපේ පැණි කැවුම දාලා යන්නේ... (74 පිටුව)
 
පබාවතීගේ හා මන්ද්‍රිගේ මෙම කතාබහ කතෘ පාඨකයාට ඉදිරිපත් කරනුයේ සියුම් ආකාරයෙනි. මොවුන් දෙදෙනා තරුණියන් දෙදෙනෙකු නොව පාසල් යන කුඩා දැරියන් දෙදෙනෙකු ලෙසින් යෙදෙන සංවාදයක ස්වරූපයෙන් කතෘ මෙය ඉදිරිපත් කරනුයේ එම පවුල් පසුබිමේ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ද හෙළිදරව් කරමිනි. ඒ අනුව බැරෑරුම් සිද්ධියකට කතුවරයා සැහැල්ලු ආකල්පයක් දැක්වූ අයුරු මින් පෙනී යයි. පබාවතීගේ හා මන්ද්‍රීගේ සිත් තුළ විභූතිරත්න කෙරෙහි තිබූ නියම හැඟීම නවකතාව මඟින් සෘජුවම අනාවරණය නොකර එය පාඨකයාට සිතන්නට යමක් ඉතිරිකොට ඇති බව විශද කෙරේ. ඒ අනුව කතෘගේ ප්‍රතීභාපූර්ණ හැකියාව වනාහී පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරන්නක් බව කිව යුතුය. එක් අවස්ථාවකදී පමණක් කතුවරයා එය මතුපිටින් සඳහන් කර ඇත. තරුණියන් දෙදෙනාම විභූතිරත්නට අසීමිතව ආදරය කරන බව එක් අවස්ථාවකදී දක්වයි. තවත් අවස්ථාවකදී එමලිනා හාමි මඟින් ද ඉදිරිපත් කරයි.
දැනටමත් දෙන්නා විභූති අයියට පන ඇරල නෙව ඉන්නේ (66 පිටුව)
\\
යනුවෙන් පවසයි. තවත් අවස්ථාවකදි කමලාවති හෙවත් උදේනිස්ගේ දෙවෙනි බිරිඳ මෙම සම්බන්ධය ගැන 
පවසා එම තත්වය නවකතාව තුළින් සනාථ කරනු ලැබේ.
 
කෙල්ලො දෙන්නා ඉන්නේ විභූතිරත්නය පණ ඇරලා (115 පිටුව)
\
නවකතාව පුරාවටම ඔවුන් විභූතිරත්නට සළකනුයේ සුරතල් දරුවෙකුට මෙනි. ඔවුන් අතර පවතින සම්බන්ධය පිළිබඳව පාඨකයා තුළ විශ්වාසයක් ඇති නොවේ. පබාවතීගේ හා මන්ද්‍රීගේ මෙන්ම විභූතිරත්නගේ යටිසිත කිසිවිටෙක නිරූපණය නොවේ. ඒ පිළිබඳ අවසානය තෙක් සහෘදයාට ඇත්තේ කුතුහලයකි. පබාවතී ගේ සිත් තුළ විභූතිරත්න කෙරෙහි පැවතියේ කුමන හැඟීමක් ද යන්න දෙමවිපියන් අවසානය තෙක් නොදැන සිටීම ද පුදුමයට කාරණයකි.
 
කාලය ගෙවී යන නමුදු චරිත වල කිසිදු විකාශනයක් සිදු නොවේ. කථාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම පබාවතී මෙන්ම මන්ද්‍රී ද කතාබහ කරනුයේද හැසිරෙනුයේ ද බාලයන් ලෙසිනි. ඔවුන්ගේ චරිත නිරූපණය වී ඇත්තේ ගමටවත් නගරයටවත් සීමා නොවූ අතරමැදි ස්වභාවයකිනි. යටත් විජිත සමයේ මෙරට සිටි අභ්‍යාස ගුරුවරියක වන පබාවතී මෙහිදී ක්‍රියාකරනුයේ කුඩා දැරියක සේය. එය ඇයගේ වෘත්තීය ජීවිතය කෙරෙහි ඇති කරන අවිනිශ්චිතතාවයක් බඳුය. මන් ද යටත් විජිත සමයේ මෙවැනි ග්‍රාම්‍ය ප්‍රදේශයක  තරුණියක් ගුරුවරියක වනවා යනු එම සමාජයට මෙන්ම ගමට කිසියම් තත්වයකි. ඇයගේ පැළැන්තිය ගැන කරණ වර්ණනාවකි. එය ගමේ තත්වය ද ඉහළ නංවන්නකි. නමුත් කතුවරයා ඇය ගැන නවකතාව ඔස්සේ හදුන්වා දී ඇති ආකාරය අනුව පාඨකයාද ඇය දෙස බලනුයේ යම් සරල ස්වභාවයකිනි. ඒ අනුව නවකතාවේ අරමුණ නැතහොත් කතෘගේ අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා එය බාධාවක් වන්නට පුළුවන.
ග්‍රන්ථයේ තැනින් තැන අවට පරිසරය වර්ණනා කිරීමට පෙළඹුණු අවස්ථා කිහිපයක් දැකගත හැකිය. එය කතාවට යම් විවේකයක් ලබා දී ඇති බව ද පැහැදිලිය. එක දිගට කියවන කතාවක් තුළ අතරමඟදී පාඨකයාට යම්කිසි විවේකයක් ලබාදීමක් බඳුය.
 
පළාවන් පැහැයෙන් යුතු ගොයමින් වැසුණු මහා වෙල්යායත් ඊට ඉහළින් පෙනෙන නිල්වන් අහස් තලයත් ඔහුට පෙනෙන්නේ කරත්තය පසුකොට ඇදී යන කොළ හා නිල් පැහැයෙන් යුත් විසල් තිරකඩක් මෙනි. කරත්තය එන හඩ අසා පටුමඟ අසල ලියදිවල සිට අහසට නැඟෙන කොක්රෑන් එම තිරකඩෙහි විසුරුවා හල සුදු තීන්ත පැල්ලම් වැන්න... (30 පිටුව)
 
මේ ආදි වශයෙන් ගොඩනැගෙන ස්වයංජාත නවකතාව විවිධ ප්‍රවේශයන් ඔස්සේ විචාරීමට පුළුවන. නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සහෘදයාගේ මනස එක්තැන්කොට ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. උපරිම සහෘද ආකාර්ශණය දිනාගැනීමෙන් කතාවේ අවසානය දක්වාම පාඨකයා රඳවා ගැනීමට නවකතාකරු ගත් උත්සහය සාර්ථකය. ඒ අනුව පාඨකයා තුළ මනෝමය භාෂණයක් ඇතිකිරීමට තරම් උසස් ආකාරයෙන් නවකතාවේ යම් යම් ස්ථාන තුළින් නිරූපිතය. එහිදී විභූති රත්නගේ මනෝභාවයන් පබාවතීගේ මනෝභාවයන් ඔවුන්ගේ මනස ක්‍රියාකරන ආකාරය , පබ්ලිනාහාමිගේ විඥාණය යක්කුටිගල ස්වාමීන් වහන්සේ කෙරෙහි නොදැනුවත්වම නැඹුරු වන ආකාරය විජයසිංහ කතුවරරයා අපූරුවට ඉදිරිපත් කර ඇත. චරිත නිරූපණය තුළින් පාඨකයා තුළ අවිඥාණික හැඟීම් ජනනය වන ආකාරය අපුරුවට නිරූපණය කරමින් කතුවරයාගේ ප්‍රතිභාපූර්ණ හැකියාව අපූරුවට ඉස්මතු කොට ඇත. ඒ අනුව ස්වයංජාත නවකතාව මනෝවිශ්ලේෂණවාදී නවකතා ගණයෙහිලා ද , මාක්ස්වාදී වු විචාරයෙහිලාද , සමාජමය කතිකාවක් වශයෙන් ද ගෙන විචාරයට ලක්කිරීමට හැකිය
 
මනෝ විශ්ලේෂනවාදී ප්‍රවේශය ඇසුරින් ස්වයංජාත නවකතාව විචාරීම
 
මනෝ විශ්ලේෂණවාදී නවකතාව යනුවෙන් අදහස් කරනුයේ පහත දැක්වෙන කරුණු ගැබ් කොට ගනිමින් නිර්මාණය වුණු නවකතාවයි. යුරෝපය පදනම්ව ඇතිවූ දියුණුවත් සමඟ මනස පිළිබඳ අධ්‍යයනය ආරම්භ විය. එය තවත් දියුණුවීමත් සමඟින්ම අනු කොටසක් ලෙසින් මනෝවිශ්ලේෂණවාදය බිහිවිය. එහි බලපෑම කෙතරම් ප්‍රබලව විකාශනය වීද යත් සාහිත්‍ය කලාදිය කෙරෙහිද කෙරෙහිද රචකයන් යොදාගැනීම නිසාවෙන් මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය බිහිවිය. මේ ඔස්සේ මනෝවිද්‍යාත්මක නවකතාවේ බිහිවීම සිදුවිය. මෙහිදී නවකතාකරුවා සිය චරිතයනගේ මනස තුළ පහළවන දෑ වාර්තා කිරීමට එසේ නැතිනම් කාල්පනික චරිතයනගේ චිත්ත අභ්‍යන්තරය ගෙනහැර දැක්වීමට ගත් උත්සාහය මත 18 වන සියවසේ ඉංග්‍රීසි නවකතාව පසුබිම්ව මනෝවිද්‍යාාත්මක නවකතාව බිහිවිය. ඒ අනුව යුරෝපීය නවකතාකරුවා මෙකී විඥානධාරා නවකතා ලිවීමේ ප්‍රාරම්භකයෝ වෙති. සැමුවෙල් රිචර්ඞ්සන්, එච් ලෝරන්ස්, පියදෝර් දොස්තොව්ස්කී, ගුස්ටාවෝ ප්ලොබෙයා, ඊ.එම් ෆෝස්ටර්, මිලාන් කුන්දේරා, ෆ්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ් ආදින් මෙම සංදර්භය ප්‍රචලිතකළ නවකතා කරුවන් වෙති. ඔවුන් විසින් පුද්ගලයාගේ පුද්ගලත්වය හා සාංදෘශ්ටික මිනිසා වෙත හෙළු මානුෂවාදී දෘශ්ටිය නිසා මිනිසාගේ අඳුරු භවාන්තරගත චෛතසික විග්‍රහකිරීම සඳහා යොමු විය. එහිදී පියදෝර දොස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම,  (ජරසපැ ්බා චමබසියපැබඑ *  ඔහුගේම කර්මසොව් සහෝදරයෝ 1879 (එයැ ඊරදඑයැරි* ගුස්ටාවෝ ෆ්ලෝබෙයාගේ එමා බෝවාරි , ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා , ලෝරන්ස්ගේ දැටර්ලි ආර්යාවගේ පෙම්වතා යන නවකතා මෙකී විඥානධාරවේ ප්‍රධානම කෘතීන් ලෙසින් හඳුනාගත හැකිය. ඒ අනුව මනෝවිද්‍යාත්මක යැයි සැළකෙන නවකතාවන් කිහිපයක් හඳුනාගත හැකිය.
මිනිසාගේ මනස පදනම් කොටගෙන අධ්‍යයනය කරනු ලබන කේෂේත්‍රය පසුව මෙහිදී සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ආකල්පයන්ද පදනම් කොටගත්තේය. ඒ අනුව මිනිසාගේ එකී සොඳුරුතම නිර්මාණයක් වන මෙම මානසිකත්වය දැක්වීමේ සාහිත්‍යය මනෝ සාහිත්‍ය විචාරය ලෙසින් විචාර ද බිහිකළේය. මේ ඔස්සේ විචාරය පාඨකයාගේ බුද්ධිය දියුණු කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් හඳුනාගත හැකිය. එහිදී විචාරකයා කරනුයේ පාඨකයා හා කෘතිය අතර පවත්නා පරතර බිඳදැමීම, තුනීකිරීම, පදම්කිරීමය. පාඨකයාට කෘතිය අවබෝධ කරගැනීමට මඟ පෙන්වීමය. එය වනාහී සාහිත්‍ය කලාවන්ගේ ප්‍රගමනයටද අවශ්‍ය වන්නේය. එබැවින් විචාරය යන සංකල්පය කාරණාවන් දෙකක් හමුවේ අවබෝධයට ලක්කිරීමට හැකිය. එනම් සාහිත්‍ය නිර්මාණයක පාදක වූ විෂය කේෂේත්‍රය එහි සංදර්භමය ශිල්පීය ක්‍්‍රම රචනෝපක්‍රම, භාෂා ලක්ෂණ, විභාග කිරීමත් ජීවිතාර්ත පැහැදිලි කිරීමත් වන නිසාය. අනතුරුව එකී අංගෝපාංග සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව ගුණ විනිශ්චය සිදුකරයි. කෙසේ සාහිත්‍ය විචාරයෙහිලා මෙවන් කාර්යභාරයක් අවබෝධකොටගත හැකිය. කෙසේ හෝ මෙකී විඥානධාරා නවකතාවන්හි ප්‍රබලත්වය ගන්නාවූ වැදගත් සාහිත්‍යාංගයක් ලෙසින් දැනගත හැකිය. ඒ සාහිත්‍යයක සතු  සනාතන චමත්කාරය වින්දනය ලබාදෙන නිසාය. ඒ ඔස්සේ නවකතා කරුවා සිය කාල්පනික චරිතයනගේ ගූඪ මානසිකත්වය විවරණය කිරීමේ යෙදෙන්නේය.
 
එසේම බටහිර බිහිවී මෙකී ප්‍රවණතාවය මිනිසාගේ විනිශ්චය පදනම් විරහිතව ස්වෛරීව හා ගැඔුරින් විමසනු ලබයි. එහිදී මිනිස් මනසේ විඥානීය  හා අවිඥානීය යන අංගයන්ගේ චිත්ත චෛතසික විග්‍රහකිරීම සිදුවේ. කතාකාරයා මෙකී විශ්ලේෂණීය  විචාරයේදී ජීවිතය නුවණින් විමසා එයින් තම අදහස් මිරිකාගෙන චරිතවලට ගැබ්කරයි. එබැවින් මෙකී නවකතාව ඔස්සේ කතාකරුවාගේ පරිකල්පනය ප්‍රබලත්වයට පවා පත්කරලයි.
ඒ අනුව අත්දැකීම සියමුව විනිවිදව ඒවායේ ගැඹුරට පත්ලට කිමිඳී අඳුරු අහුමුළුකරා පවා ආලෝකධාරාවක් එල්ලකොට යථා තතු පසක්කිරීම මේ ඔස්සේ සිදු කරයි. ඒ අනුව මනෝවිද්‍යාත්මක නවකතාවේ ප්‍රකාශන ක්‍රම අතර තදාත්මීයකරණය යනු චරිතයක මානසිකත්වය දැක්වීමේ ප්‍රබල අවස්ථාවකී. එය සිදු කරනුයේ නවකතාවේ අත්දැකීම ඔස්සේ සිය කාල්පනික චරිතයන් මාර්ගයෙන් විකාශනය කිරීම ඔස්සේය. නවකතාවක අත්දැකීම යනු සෑදීමකි.
 
ඒ අනුව ස්වයංජාත නවකතාව තුළද මෙවැනි ලක්ෂණ ඇතුළත්ව ඇති බව යම් යම් අවස්ථා වලදී මතු වේ. පාඨකයාගේ මනසට බුද්ධියට කතා කිරීමක් නැතහොත් චිත්ත සන්තානය ස්පර්ශ කිරීමක් දැක්වෙන අවස්ථා ඇත. විවිධ චරිත වල මනස ක්‍රියාත්මක වන ආකාරය අනුව එම චරිතයේ සැබෑ ලක්ෂණ හෙළිදරව් කරන ස්වභාාවය මෙම නවකතාවේ යම් යම් අවස්ථා වලදී උපහාසාත්මකව ද , හාස්‍යෝත්පාදකව ද , ඉදිරිපත් කිරීම තුළින් එම කරුණු මනාව අවධාරණය වේ.
 
ස්වයංජාත නවකතාවේ පබ්ලිනා හාමිනේගේ චරිතයෙන් මෙම තත්වයන් පැහැදිලි කරගත හැක. එහිදී පබිලිනාහාමිනේගේ දරුවකු නොලැබීම නිසාවෙන් ප්‍රතිකාරගැනීමට එන අතර ඇගේ අවිඥානීය සිත තුළ යක්කුටිගල තෙරුන්ගේ මතකය තැන්පත්වීම වනාහී අභ්‍යන්තරය තදාත්මීයව දැක්වූ අවස්තාවකී. එකී සිතතුළ පවතින මානසික ප්‍රවාහය ඉස්මතු වනුයේ එම තෙරුන්ගේ විරූපීභාවය පිළිබඳව තවකෙක් සමච්චල්කරණ විටදීය. එහිදී පබ්ලිනා හාමිනේ එය සාධාරණීකරණය කිරීමට පෙළඹෙන්නීය. එය වනාහී මනෝවිදයා නවකතාවේ එකිනෙක චරිත අතර නිරන්තර සංවේදීතාවය ශක්තිමත්කරණ චිත්තවේගයන් නිරූපණය කිරීමක් වන නිසාවෙන්ය.
 
උන් වහන්සේගේ දැළි අඟුරු පැහැති ස්ථුල කයත් මුංකැවුමක් වැනි විරූපී මුහුණත් ඇයට තවදුරටත් සිතට අපුල දෙන දසුනක් නොවීය. දැළි වළදක් වන් වාමන මුහුණෙහි කළාතුරකින් පහළ වන සුදුවන් දීප්තියෙන් බැබළෙන සිනාව වැහි අඳුරු අහසක ඇදී යන රිදීවන් විදුලි රේඛාවක් මෙන් දුටු ඇගේ යටි සිතෙහි ඇතිවූයේ එම සිනාව යළිත් දැක්වීමේ අනියත පෙළඹවීමකි. (19 පිටුව)
උන් වහන්සේගේ දෙනෙත් ඝණ රෝමයෙන් ගැවසිගත් ඇහිබැම දෙකන් වැසෙන තරමට මිරිකී ගොස් සිහින් ඉරි දෙකක් පමණක් බවට පත්වෙයි. ඇස් කොන් දෙපස සිහින් රැළි නැගෙයි. මේ සිනාව දකින 

පබ්ලිනාාහාමිගේ යටිසිත බියෙන් සැලෙන්නේ එහි ගැහැණුන්ගේ සිත් වසඟ කරන ස්වභාවයක් ලැබ්ව ඇතැයි ඇයට සිතේ. එවිට මෙවන් පාපකාරී සිතුවිලි පහළවීම ගැන ඇය පසුව බියටත් ශෝකයටත් පත්වෙයි. (20 පිටුව)
 
මනෝවිද්‍යාත්මක නවකතාවේ දැක්වෙන අන්දමට තවදුරටත් මානසිකත්වය දැක්වීමේ කථන ක්‍රමයක් ලෙසින් චරිතයක් බාහිර සාධකයන් හමුවේ ගැටෙන විටදී සංකීර්ණ මානසික සාධක ඉස්මතුකරමින් ගූඪමානසිකත්වය ඉස්මතුකිරීම දැක්විය හැකිය. එවන් තත්වයන් හා සමරජීව විජයසිංහගේ ස්වයංජාත යන නවකතාවන්හි ප්‍රධාන චරිතයන්ගේ මාර්ගයෙන් දැකිය හැකිය. මේ ලෙසින්ම ස්වයංජාත නවකතාවේ පබාවතියගේද චරිතයේද නවකතාකරුවා මෙවන් ස්වභාවයක් දක්වයි. ඇයද සිය නිවසේ වැඩකාර විභූතිරත්න වෙත පෙමින් බැඳී සිටියාය. එකී ආදරය වනාහී පබාවතියගේ සිතතුළ හෙවත් උත්තරාත්මයෙන්ම හටගත් එකක් වන අතර එය පැවසීමට නොහැකි එකකි. එකී ආදරය නිසාවෙන් පබාවතියගේ සිත නිරන්තරයෙන් ගැටීම් හමුවේ සංකීර්ණ වන්නේය. එකී බාහිර බලවේගයක ගැටීම දැක්වෙනුයේ පබාවතියගේ විවහා යෝජනා ආදිය හමුවේය. සිය නැඟනියගේ විවාහය සිදුවීමත් තමා පාසලේම ගුරුවරයකු කළ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් යනු ඇගේ ආදරයේ පවතින්නාවූ බැඳීමට විරුද්ධවීම නිසාවෙන්ය. එහි බලපෑම මත විටෙක ඇය විඥානය විසින් අන්‍යයන්ට කෝපවන ආකරයත් අව්ඥානීකව ඇගේ නින්දපවා නොඒම යනු එකී නවකතාවේ චරිතයක ගැටුම ආරම්භවූ අවස්ථාවක් වන්නේය. එම අවස්ථාවද ස්වයංජාත නවකතාවේ කතාකරුවා දක්වනුයේ අභ්‍යන්තර මනෝභාෂණය දැක්වීමේ මාර්ගයන් ලෙසය. ඒ අනුව විඥානධාරා නවකතාවක චරිතයනගේ ගැටීම ඇතැම්වූ විට ඉතා දිගු වූවක් ලෙසින් විකාශනය වේ. පබාවතියගේද එකී සවිඥානීය ප්‍රේමය දිගුවූ එකකි. එය ගැටීම් හමුවේ ඇගේ මානසික ගූඪත්වය ප්‍රකාශ වනබව කිවහැකි නොවේද යන්න ගම්‍යමාන වේ.
මොකවත් නැහැ මට ඕනැ කලේ ගමන පිටත් වෙන්න කලින් විභූති අයියව මේ පැත්තට හරවගන්න.
 
උදේ පාන්දරම මේ පැණි කැවුම මුලිච්චි නොවි මගේ දවස සාර්ථක වෙන්නෙ නැහැ අම්මේ.... (71 පිටුව)
 
නවකතාවේ චරිතයක විඥානය ප්‍රකාශ කිරීමෙහිලා අවශ්‍යවන භාෂාව වනාහී ප්‍රබලතම සාධකයයි. ඒ අනුව විඥානධාරා නවකතාවේ මානසිකත්වය යනු භාෂාවේද උපයෝගිතාවයෙන් නවකතාකරුවා සපුරාගත යුතු අභියෝගය ලාංකීය නවකතාවේද දක්වන සමත්කම පිළිබඳව පැහැදිළිය. ඒ අනුව විඥානය හා අවිඥානය සතු මානසික ප්‍රවාහය චරිතයක භාෂාව මාර්ගයෙන් දක්වයි. මෙහිදී මනෝමය පරිසරයක් චරිතයක පැවසීමෙහිදී භාෂාවේ උපමා, රූපක, සංකේත හා රිද්මයන් භාවිතා කරමින් එය සම්පූර්ණ කරගන්නා ආකාරය විමසිය හැකිය. මනුෂ්‍යයාගේ සිතිවිලි පරපුරක දම්වැළක පුරුකක් සේ එකට පුරුද්දමින් එකට ඇමිණී පැවතීමත් එකී සිතිවිලි දාමය ඉපදවීමේ ශක්තිය ප්‍රබන්ධකරුවා යොදාගත යුතුය. එය කියවන්නාගේ මනෝභාවයන් පුබුදු කිරීමේ සමත්විය යුතුය. නූතන සිංහල නවකතාවේ තවදුරටත් කැපීනෙනෙ මානසික සංකල්පයන් ලෙසින් තද්භාවය හා අහංභාවය  වැනි මනෝගතීන් දක්වන චරිත පාදකකොට ගන්නා ආකාරය කිවහැකිය.


■    විභූතිරත්නගේ පැණි කැවුමක් වැනි විරූපී මුහුණටත්, දැළි වළඳක් වන් දැලි පැහැයටත්..
■    පබාවතීගේත තුරුණු රූ සපුව සුදු පැහැයෙන් දිදුලන කිරිගරුඩ රුවක් වැන්නැයි...
■    මිටින් හළ කිරිල්ලියක සේ
■    කපු පුළුන් ගොඩකට මැදිව සිටින කළු කපුටු පැටියෙකු සේ
 
ආදී උපමාවන් භාවිතය තුළ පාඨකයාගේ මනෝභාවයන් ගැඹුරින්ම ස්පර්ශ කරන බවක් දක්නට ලැබේ. පාඨකයා තුළ සංකල්ප රූප ජනනය කරමින් කිසියම් මනෝ භාෂණයක් ලබා දීමට කතෘවරයා මෙහිදී ගත් උත්සහය සාර්ථකය. මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරී ස්වභාවය ගෙනහැර පෑමට නවකතාවේ චරිත කෙරෙහි කිසියම් වු ආත්ම කථනයක් ලබා දීමටත් තම රචනා උපක්‍රම යොදාගෙන ඇති බව කිව යුතුය.
බක්කි කරත්තය , කළු කෝට් එක ,  මුදලිතුමා , ආදි වචන මඟින් පාඨකයාගේ මනස නිරතුරුවම යත් විජිත සමය , ඉංග්‍රීසී අධිරාජ්‍යය සිහිපත් කරනු ලබයි. ඒ අනුව එම කාල වකවානුවේ පැවති සමාජ ලක්ෂණ ඉස්මතු කිරීමට කතෘවරයා යොදාගත් භාෂා ශෛලිය යම්තාක්දුරට නවකතාවේ අරමුණට සාධාරණයක් ඉටුකර ඇති ආකාරය ප්‍රතීයමාන වේ.
 
ඒ අනුව පබාවතියගේ චරිතයේ විභූතිරත්න වෙත ඇති ආදරය නිසාවෙන් තද්භාවය හා අහංභාවය අතර ගැටුම ඇතිවේ. එනම් වෙනත් විවාහයක් නොකරගැනීමත්, විභූතිරත්න වෙත ඇති ආදරය නිසාත් මෙම මානසික ගැටුම ඇතිකරවන්නේය. මෙහිදී මනෝවිශ්ලෙෂණවාදයට අනුව පෙර ආත්මය විසින් සහජයෙන් ලැබුණු ස්ත්‍රී පුරුෂ ශරීර නරඹා සංතෘප්තවීමේ අපගාමී චර්යාවක් ලෙසින් හැඳින්වේ. මෙවන් අවස්ථාවක් ලෙසින් ස්වයංජාත නවකතාවේ පබිලිනා හාමිනේගේ චරිතයෙන් දැකිය හැකිය. එනම් ඇය විරූපී යක්කුටිගල හිමියන්ගේ ශරීරය දැකීමෙන් කිසියම් ආකාරයේ සංතෘප්තියක් ලැබුවායැයි පෙනේ. ඇය එම තෙරුන්ගේ සිනහව පිළිබඳව ඇතිවන බැඳීම වනාහී මෙම තත්වය මතුකරන්නාවු අවස්ථාවක් ලෙසින් නවකතාකරුවා දක්වයි. එය මනෝවිශ්ලේෂණවාදයේදී හදුන්වනු ලබනුයේ දර්ශස්වාදය ලෙසිනි. මනෝවිද්‍යා නවකතාවේ වැඩියෙන්ම කතා කරන්නාවූ මිනිස් මානසිකත්වය රාගය පදනම්වූ තත්වයන්ය. මෙය වනාහී මනෝවිශ්ලේෂණවාදයේ පියාවන සිග්මන්ෆ්‍රොයිඩ් දක්වනුයේ මිනිසාගේ ප්‍රබලතම මානසික අංශයක් ලෙසින්ය. ඔහු කොටස් තුනකින් එකී පුද්ගල රාගීකත්වය දක්වයි.
 
■    රාගය හෙවත් කාමාසාව 
■    ආත්ම ආරක්ෂාව හෙවත් භව ආසය
■    විනාශකාරීත්වය හෙවත් විභව ආශය ලෙසින්ය.
 
එබැවින් මෙකී තත්වය වනාහී මනෝවිද්‍යාත්මක නවකතාවේ චරිතයනගේ මාර්ගයෙන් දැක්වීමේදී විශේෂයෙන් වැදගත්කමක් ගනී. එබැවින් මෙම මනෝවිද්‍යාත්මක පසුබිම වනාහී විවාදාපන්න කථිකාවතක් දක්වන්නාවූ අවස්ථාවකී. කෙසේ සමස්ථ සාහිත්‍යයක අපේක්ෂිත ධර්මතාවන් අතර මනෝවිශ්ලේෂණීය නවකතාවද මෙකී සමස්ථ සාහිත්‍ය අභිමතාර්ථයන් සපුරාගන්නා බව කිවහැකිය.
 
ඒ අනුව ඉහත දක්වන ලද සාධකයන් ස්වයංජාත නවකතාව ඔස්සේ ද ගම්‍යමාන වන ආකාරය යම් යම් අවස්ථාවලදී දක්නට ලැබේ. ඒ අනුව රාගය හෙවත් කාමාශාව නවකතාව තුළ යම්තාක් දුරට අවම මට්ටමක පැවතිය ද සුමතිපාල පබාවති හා සම්බන්ධව යම් යම් අවස්ථාවලදී හැසිරෙන ආකාරය තුළින් ද, පබාවති විභූතිරත්න කෙරෙහි ඇති කරගෙන ඇති හැඟිම ඉස්මතු වන අවස්ථාවලදීද පෙන්නුම් කෙරේ.
සුදුවැලිපොත ගම්මුලාදෑනියා මගේ ලොකු තාත්තා. කවදාහරි පබාවති නංගි බදින්න ඉන්නේ මම. මහත්තයා මේ ගැන නිකං කාලේ නාස්ති කරගන්න එකේ තේරුමක් නැහැ.
 
මහත්තයාගේ හිතේ පබාවති නංගි ගැන අදහසක් තියෙනවනම් ඒක හිතින් අහක්කර ගන්නවා හොඳයි. (108 -109 පිටු)
 
ආත්ම ආරක්ෂාව හෙවත් භව ආශය යන්නද ස්වයංජාත නවකතාව තුළින් නිරූපිතය. පබාවති ව සුමතිපාල විසින් නිවසේ සිරකරගෙන සිටි අවස්ථාවේදි විභූතිරත්න පැමිණ ඇයව බේරාගැනීම මෙයට සුදුසුතම උපහැරණයකි. මිනිසාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය මිනිසාගේ යටිසිත බලාපොරොත්තු වන තත්වයන් මෙන්ම එම අවස්ථාවේදී හැසිරීම ආදිය මෙම නවකතාවෙන් අපූරුවට නිරූපිතය. ඒ අනුව රාගය පදනම් කොටගත් ආත්ම ආරක්ෂාවේ ස්වභාවය ව්‍යංග්‍යාර්ථවත්ව ඉදිරිපත් කිරිමට කතෘ මෙතුලින් උත්සහ දරා ඇත.
අනේ මාව මෙතනින් ගෙනියන්න යි ඔහුගේ ඇගේ එල්ලෙන්නට ආයාස කරමින් පබාවතී හඬන්නට වූයේය.
මෙතෙක් පැවති බිය සැක දුරු කල පබාවතී ඔහුගේ ගෙළ වැළඳගෙන සිටින්නේ ඔහු ළඟ තමා සුරක්ෂිතය යන නියත හැඟීමෙනි. (262 පිටුව)
 
සිග්මන් ෆ්‍රොයිඞ් ට අනුව මිනිසාගේ ප්‍රබලතම මානසික අංගයක් ලෙසින් මීළඟට දක්වනුයේ විනාශකාරීත්වය හෙවත් විභවාශය යි. ඒ අනුව පබාවතී සිරකරගෙන සිටි අවස්ථාවේ  විභූතිරත්න සුමතිපාලගේ නිවසේ බඩුභාහිරාදිය විනාශ කරන ආකාරය මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැක. තව ද සුමතිපාල විභූතිරත්නගේ කරත්තය ඉදිරියට හීලෑ නොවුණු ගොනා ඒවා සිදුකිරීමට යන විනාශය හා ඉන් බලාපොරොත්තු වන අරමුණ අනුව මෙම තත්වය තව තවත් පැහැදිලි වේ.
ඒ අනුව සමරවීර විජයසිංහගේ ස්වයංජාත නවකතාව තුළ මනෝභාෂණයක් උපරිමයෙන් අඩංගු වන බව කිවයුතුය. මිනිස් චරිත ස්වභාවයන්හී යථාර්තය අපූරුවට විචාරීමක් මෙතුලින් ඉස්මතු වේ. ඒ ඒ ුවස්ථාවන් වලදී මිනිසාගේ මනස ක්‍රියාත්මක වන්නේ කෙසේද එය එම චරිතයට හෝ අවස්ථාවට බලපාන්නේ කෙසේද ආදී අර්ථකථනයක් ලබා දීම මෙතුලින් අපූරුවට නිරූපිතය.ඒ අනුව ඒ කෙරෙහි මනා අවබෝධයකින් යුතුව නවකතාකරු සිටි බව දක්වන ලද නිදසුන් ආශ්‍රයෙන් ස්ඵුට වේ.
ඒ අනුව සාහිත්‍යය කෘතියක සාර්ථකත්වය තීරණය කිරීමෙහිලා බලපාන ප්‍රධානතම සාධකයක් ලෙසට මෙම මනෝභාෂණය දැක්විය හැක. පාඨකයාගේ පරිකල්පන ශක්තිය ගොඩනැංවීමෙහිලාත් මෙය දායක වේ. කතාවේ රසවිදින මොහොතේ ඒ අතරින් ඒ සම්බන්ධ සංකල්ප රූප ජනනය වන්නේනම් එය නවකතාකරුගේ සාර්ථකත්වය විශද කරන්නකි. ඒ අනුව සාහිත්‍යය කෘතියක අන්තර්ගත විය යුතු ප්‍රධාන කරුණු අන්තර්ගත කොට ගනිමින් නිර්මිත මෙම නවකතාව සාර්ථක නවකතාවකි.
■    සාහිත්‍ය කෘතියකින් මිනිසාගේ අර්ථ සිද්ධියට ඉවහල්වන යථාර්ථය ගවේෂණයක් කළ යුතුය.
■    මානව දයාව සාහිත්‍යය කෘතියක අනිවාර්ය ගුණය වියයුතුය.
■    සාහිත්‍යය කෘතිය මිනිසාගේ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය පෝෂණය කළයුතුය.
■    සාහිත්‍යය කෘතිය සනාතන හා විශ්ව සාධාරණ එකක් විය යුතුය.
■    සාහිත්‍යය කෘතිය මිනිසාගේ භාවමය හා ඥානමය සම්පත් පුළුල්කළ යුතුය.
 
මෙම කරුණු ස්වයංජාත නවකතාව තුළ අත්‍යන්තයෙන්ම අන්තර්ගත වී ඇති ආකාරය කිවයුතුය. සාහිත්‍ය කෘතිය පුරාවටම සමාජ යථාර්තය ඉස්මතු වේ.  ස්වයංජාත නවකතාවේ ප්‍රධාන පවුල් ප්‍රස්තුත දෙක මෙයට නිදසුන්ය. එරෝලිස් වෙදරාළගේ නිවසේ අය විභූතිරත්නට තමාගේම අයෙකුට මෙන් සළකන ආකාරය නවකතාව පුරාවටම ඉස්මතු වේ. ඒ අනුව මානව දයාව ස්වයංජාත නවකතාවෙන් උසස් ආකාරයෙන් නිරුපණය වන බව කිව යුතුය. ඊට අමතරව මිනිසාගේ අධ්‍යාත්මයට උපරිමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවක් ද මෙම නවකතාවෙන් නිරූපිතය. පබ්ලිනාහාමිගේ දරුවා යක්කුටිගල ස්වාමීන් වහන්සේ හා සමාන විරූපි බවකින් යුක්ත වීම , ඒ හේතුවෙන් ඇති වූ තත්වය මත  පබ්ලිනාහාමි සියදිවි නසා ගැනීමට පෙළඹීම. පබාවතී වෙනත් විවාහ යෝජනා වලට අකමැති වීම ආදිය මෙහිදී දැක්විය හැක. මිනිසාගේ භාවමය තත්වයන් උපරිමයෙන් විස්තර කිරීමට ද මෙම නවකතාවේ කතෘ ගත් උත්සහය සාර්ථකය.
 
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද?. ඔහු සිය පිය පසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවක් නැති, රූපය හැර අන් සියල්ලම මව්පසින් ලබා ඇති අතර ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද?.. එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුණේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟව සිටි ඇගේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැතිනම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?
 
මෙවැනි උදාහරණ මඟින් ස්වයංජාත නවකතාව වටා ගෙති ඇති මනෝ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබාගත හැක. ඒ අනුව මෙම තත්වයන් පැහැදිලි කිරීමට කතෘ යොදාගත් භාෂා උපක්‍රම සාර්ථකය. යම් යම් අවස්ථාවලදී ලක්ෂණ වල යම් නොගැළපීමක් තිබුණද එය නවකතාවේ අරමුණට එතරම් හානියක් නොවන බව පැහැදිලිය.
කෙසේ හෝ අප මෙහිදී මෙතෙක් විමසූ කාරණාවන්ට අනුව සාහිත්‍යයක කිසියම් ආකාරයේ වැදගත්වූ ප්‍රවණතාවයක් බව කිවහැකිය. එය වනාහී ලාංකීය නවකතාවේ දැක්වෙන ආකාරයට මනෝවිශ්ලේෂණීය නවකතාවේ නිම්වළලූ පුළුල්වීමෙන් ඇතිවු වැදගත් වූ කාරණාවක් ලෙසින් දැක්විය හැකිය. මේ අනුව ලාංකීය නවකතාවේ මෑතක ලියැවෙන නවකතාවන්හී මනෝවිද්‍යාාත්මක පක්ෂයෙහිලා සැළකිය හැකි බව කිවහැකිය.   
 
මනෝභාෂණයක් සහිත කරුණු වලට අමතරව මෙම නවකතාව තුළින් යම් යම් අවස්ථාවලදී සමාජවාදී හෝ මාක්ස්වාදී ලක්ෂණ ද ඉස්මතු වන ආකාරය කිව යුතුය. නමුත් ස්වයංජාත නවකතාව තුළින් වැඩි වශයෙන් ඉස්මතු වී පවතින්නේ අධ්‍යාත්මය හා බැදුණු මනෝවාදී ලක්ෂණයන් බව කිවයුතුය. ඒ අනුව මනෝමූලික ස්වරූපයකින් විචාරීම නවකතාවට සිදුකරනු ලබන සාධාරණයක් ලෙසට ද කිව හැක.
 
මාක්ස්වාදී ලක්ෂණ අනුව ස්වයංජාත නවකතාව විචාරයට ලක්කිරිම
 
යටත් විජිතවාදී සමයේ ලක්ෂණ ඉස්මතු කරන මෙම නවකතාව තුළ යම් යම් මාක්ස්වාදී ලක්ෂණ ද ගැබ්ව පවතින බව කිව යුතුය. ඒ අනුව යම් යම් අවස්ථාවලදී තම පංතියේ තත්වය ඉස්මතු කිරීමට දරන උත්සහයක් මින් නිරූපිතය. වංශවත් වූ ගමේ මුලාදෑනීයාගේ පවුල් පසුබිම වටා ගෙති ඇති මෙම පවුල් ප්‍රපචය මෙයට නිදසුන්ය. ස්වයංජාත නවකතාවට අනුව සුදුවැලිපොත ගම්මානයේ නම්බුකාර හා වැදගත් උසස් පවුල් පරම්පරාක් ලෙසට නිරූපිතය. ගේ දොර ඉඩකඩම් යානවාහන ආදිය හිමි පරම්පරාවකට හිමි පවුල් පසුබිමක් මත ස්වයංජාත කතාව ගොඩනැඟී තිබීම විශේෂයකි. එවැනි පරම්පරාවක බලපුළුවන්කාරකම මත සිදුවන යම් යම් ක්‍රියාවලීන් අපුරූවට නිරූපණය කරමින් එයට විරුද්ධ වන්නන්ට එරෙහි වන ආකාරය මින් අපූරුවට ඉස්මතු කර ඇත.
 
මෙම පවුල් පසුබිම අනුව දරුවන් නොමැතිව සිටි පබ්ලිනාහාමි හට විභූතිරත්න හමු වූ පසුත් එම දරුවා නොසිතූ අයුරින් යක්කුටිගල ස්වාමීන් වහන්සේගේ ස්වරූපය ගැනීමත් මත ගම් මුලාදෑනි පවුලේ උදවිය එයට දක්වන ප්‍රතිචාරය මත මෙම නවකතාව තුළ මාක්ස්වදී ලක්ෂණ ඉස්මතු වේ. තම පැලැන්තිය එනම් ධනවත් පැළැන්තිය තම අරමුණ ඒ ආකාරයෙන් ඉටු නොවුයේනම් හයට අදාල අනෙකුත් සියදු දෙනා තලා පෙළා දමමින් සමාජයෙන් ම තුරන් කර සෑම පාලනයක්ම තමන් යටතට ගන්නා උත්සහයක් මින් නිරූපිතය.
මොකද්ද පරට්ටියේ තෝ මේ කරගෙන තියෙන්නේ. අර එළියේ ඉන්න මිනිස්සුන්ට මම දැන් මොනව ද කියන්නේ... (22 පිටුව)
 
පබ්ලිනා හාමි ඇතුලු ඇයගේ පවුලේ සෑම මේ හේතුවෙන් තම පවුලෙන්ම තුරන් කිරීම මත ඔවුන් මනුෂ්‍යත්වයට එහා ගිය නම්බුකාර බවක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඒ අනුව වර්තමාන සමාජයේ වුව ද සිදුවිය හැකි සිද්ධියක් අපුරුවට සර්වකාලීන වටිනාකමකින් යුතුව කතෘ විසින් ඉදිරිපත් කිරීමට ගත් උත්සහය අති සාර්ථක බව කිව යුතුය.
 
උඹ දිනුවයි කියලා හිතන්න එපා පුතෝ. මේකේ වාඩුව ගත්තේ නැත්නම් මම දියෝනිස් අප්පු මුලාදෑනියා නෙවෙයි. ඒක දැනගනින්... (262 පිටුව)
 
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමාජ ක්‍රමයට අනුව එම කාලයට අනුව ගම් ප්‍රධානියෙකු සිටින පවුලක් යනු ගමේ අනෙකුත් අය ගරුබුහුමන් දක්වන පවුලකි. එම ප්‍රදේශයේ අනෙකුත් අය එම පවුලට යටත්ය. ගම් වල අනෙකුත් අහිංසක මිනිසුන් එදා වේල සරිකරගන්නේ ගම්මුලාදැනීයාගේ වතුපිටි ඉඩකඩම් වල කටයුතු කරමින්ය. මේ ආදී වු ලක්ෂණ ස්වයංජාත නවකතාව තුළින් නිරූපණය වේ. සමාජයෙන් සමාජයට මිනිස් ධර්මතා නිරූපණය වන ආකාරය ඉස්මතු කිරීමට කතුවරයා ගත් උත්සහය සාර්ථකය.
 
යටත් විජිතවාදී බටහිරකරණයේ අනුහසට ගොඳුරු වෙමින් පැවති ප්‍රධන නගර වෙත සමීපත්වයක් දක්වමින් කතාව රචනෘ වී තිබීම මත ද ඔවුන් ධනවාදයට නැඹුරුතාවයක් දක්වන බව නවකතාව තුළින් නිරූපිතය. විකෘතී වූ දරුවෙකු වටා මෙම කතාව ගොඩනැගුණ ද එයට එහාගිය සමාජ යථාර්තයක් හෙළිකිරීමට කතුවරයා ගත් උත්සහය සාර්ථක බව කිවයුතුය. ඒ අනුව ගම හා නගරය යා කෙරෙන ආකාරයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීම මත ගමේ හා නගරයේ ඇති පරස්පරතාවන් ඔස්සේ මාක්ස්වාදීමය එනම් ධනපති හා නිර්ධන පංතියේ ලක්ෂණ අපුරූවට ඉස්මතු කර ඇත. එහිදී සමාජික හා ආර්ථික තොරතුරු පමණක් නොව අධ්‍යාපනය නැතහොත් දැනුම යන සාධකයද වඩා වැදගත් වන බව මනාව විශද කිරීමට ස්වයංජාත කතාකරු සමත්ය. ඒ අනුව එහි සමාජ අධ්‍යාත්ම පරිසරය සංස්කෘතිය හා විඥාණගත චෛතසික ලෝකය සමඟ පාඨකයාට බුද්ධිමය පමණක් නොව භාවමය ආනුභුතියක් ලබා දීමටද ස්වයංජාත නව කතාකරු ගත් උත්සහය අතිසාර්ථකය.
 
දුම්රිය කවුළුවට පිටතින් ඇදී යන මුහුදුබඩ පරිසරය...
ළමයා කොළොම්පුරේ ආවට පස්සේ හුඟක් දියුණු වෙලානේ, දැන් කියවන්නේ ඉංග්‍රීසි කතා සාහිත්‍ය වගෙයි... (201 පිටුව)
 
මෙවැනි නිදසුන් වලින් එම සමාජ සංස්කෘතික පරිසරය මැනවින් නිරූපණය වේ. තව ද ගම් මුලාදෑනීයා වන දියෝනිස් අප්පු තම ගෝලබාලයන්ට සළකන ආකාරය ඔවුන්ගෙන් සැළකුම් ලබන ආකාරය අනුව ද මෙම ලක්ෂණ ඉස්මතු වේ. ඒ අනුව කරත්තකරුගේ සිට ගෙදර මෙහෙකාර සේවයේ යෙදි සිටින සේවිකාවන් ගේ චරිත වලින් මෙය මනාව නිරූපණය වේ. ඔවුන් තම මුලාදෑනියාට දක්වන බය පක්ෂපාතකම් තුළින් මෙය නිරුපීතය.
 
සාදිරිස් ගණින් ඔය කරත්තේ. කෝ මේ සාදිරිස්... (24 පිටුව)
 
පබ්ලිනාහාමිගේ දරුවා යක්කුටිගල ස්වාමීන් වහන්සේ මෙන් විරූපි ස්වභාවයක් ගැනීම සමඟ කෝපයට පත් සෙලෙස්තිනාහාමිගේ හැසිරීම මෙයට නිදසුන්ය. තම පැළැන්තිය හේතුවෙන් පුහු ආටෝපයක් ගොඩනගාගෙන සිටින ඇය නිර්ධනයින් හෝ තම යටත් වැසියන්ට සළකන ආකාරය අනුව මෙම තත්වය ගම්‍යමාන වේ. එම පවුල් පසුබිම තුළ ගොඩනැඟි ඇති සංස්කෘතිය, ආර්ථිකය ආදි ලක්ෂණ මෙහිදි සහෘදයාට ව්‍යංගයෙන් හෝ ඉදිරිපත් කිරීමට නවකතාකරු සමත් වී ඇත. ඒ අනුව දියෝනිස් අප්පුගේ බලය පාවිච්චි කරමින් අස්වැන්නේ බිම් පංගු රැගෙන යාමට සුමතිපාල පැමිණිම මෙයට නිදසුන්ය. ඒ අනුව එම සමාජ සංස්තෘතිය තුළ මෙවැනි ලක්ෂණ ඔස්සේ යටත් වාසීන් පීඩනයට ලක්කිරීමට ගත් උත්සහයක් ලෙසf මය දැක්විය හැක.
මොන පිස්සුද හාමිනේ, ඔය මිනිස්සුන්ට බිංපංගු ඕනෑනම් ඔය කොහේට හරි වෙලා ඉඳගෙන වෙලාව එනකම් බලාගෙන  ඇති....
 
නැන්දේ තාත්තා කිව්වා බිංපංගු අරන් එන්න කියලා... (167 පිටුව)
 
ඒ අනුව ගමේ ප්‍රධානියා ව සිට තම යටත් වැසියන් පීඩනයට පත් කිරීමට දරන උත්සහයක් නව කතාව තුළින් නිරූපිතය. තවද මෙම ලක්ෂණ ව්‍යංගයෙන් නිරූපිත කදිම අවස්ථාවක් ලෙසට අවස්ථාවක් ලෙසට අමරතුංග නම් ඉංග්‍රීසි ගුරුවරයා පබාවතීගේ නිවසට මගුල් කපුවෙකු යැවූ අවස්ථාවේ සිතන කාරණා තූළින් පැහැදිලි වේ.
ඔහුගේ කෝපයටත් කළකිරීමටත් හේතු වී ඇත්තේ පබාවතී අකමැති වීම පමණක් නොව පාරම්පරික වත්පොහොසත්කම් ඇති ඉංග්‍රීසි උගත් නාගරික තරුණයෙකු වු තමන්ට ගමේ වෙදරාළ කෙනෙකු හමුවේ බාල්දු වීමට සිදුවීමය... (104 පිටුව)
 
මෙවැනි තත්වයන් නවකතාව හරහා නිරූපණය කිරීමෙන් එහි පවතින සමාජ සංස්කෘතික ආර්ථික ලක්ෂණ කෙරෙහි සහෘද චිත්තයෙහි යම් අදහසක් ගොඩනැගේ. නමුත් එය කතෘ සෘජුවම ඉදිරිපත් නොකර පාඨකයාට සිතන්නට යමක් සලස්වා ඇති බව පැහැදිලිය.
 
ඒ අනුව මනෝභාෂණීය ලක්ෂණ තරම් නොවූව ද යම්තාක් දුරට සමාජ ප්‍රස්තුතය, ආර්ථිකය හා සංස්කෘතිය මතගොඩනැගුණු මාක්ස්වාදී විචාරමය ලක්ෂණ කිහිපයක් ස්වයංජාත නවකතාව තුළ අන්තර්ගත බව පැහැදිලිය.
 
ඊට අමතරව මෙම නවකතාව යටත් විජිතවාදී ලක්ෂණ අළලා නිර්මාණය කලද යම් යම් අවස්ථාවලදී යාවත්කාලීන තොරතුරු අන්තර්ගත වී ඇති ආකාරය පැහැදිලිය. ඒ අනුව නවකතාකරු යම් යම් කරුණු නවකතාවට ඇතුළත් කිරීමේදී සර්වකාලීන වැදගත්කමකින් යුක්තව දක්වා ඇති බවද නිරූපිතය. ඒ අනුව නිතරම ඉංග්‍රීසී අධ්‍යාපනයේ වැදගත්කම එදා සමාජයේ මෙන්ම අද සමාජයේත් එකසේ වැදගත් වන බව කතුවරයා සහෘදයාට දන්වා ඇත. ඒ අනුව පෙර සියවස් දෙක අතර කාල පරාසය තුල වූ යම්කිසි සිද්ධි මාලාවක් ඇසුරින් නිර්මාණය වූවක් වුනද වත්මන් කාල සීමාව දක්වාම උචිතය. එබැවින් නවකතාවේ වස්තු විෂය තවමත් ජීවමාන යැයි හැඟේ.
 
මෙවැනි ලක්ෂණ ඉස්මතු කිරීමෙහිලා කතුවරයා යොදාගත් භාෂා භාවිතය පිළිබඳ අධ්‍යයනය කල යුතුය. ගැමි පරිසරයක් පාදක කරගනිමින් රචනා වූ මෙම නවකතාව තුළ ගැමි බස් වහර මනාව නිරූපණය කොට ඇත. යටත් විජිත සමයේ බටහිරකරණාය් අනුහසට ලක් වූ පවුල් පසුබිම් කොටගෙන ලියවූවක් බැවින් එයට ද උචිත පරිදී භාෂාව භාවිතා වී ඇති අයුරු කිව යුතුය. සරල සුමට බස් වහරක් භාවිතා කිරිම ඔස්සේ ගැමි ජන විඥාණන සහෘදයාට ගෙනහැර දැක්වීමට නවකතාකරු ගත් උත්සහය සාර්ථකය.
 
අයියත් තේ වතුර ටිකක් බොන්න යි කරත්තය තුළ සිටින පබාවතී කියන්නේ තේ කහට කෝප්පයක් හා හකුරු කැටයක් විභූතිරත්න දෙසට දිගු කරමිනි... (123 පිටුව)
පබා අක්කා වැටිලා කකුළ ඇමැට්ටි වෙලා අයියේ.... (261 පිටුව)
 
ආදී වු නිදසුන් රාශීයක් නවකතාව තුළ අන්තර්ගතය. කඩමණ්ඩිය , බක්කි කරත්තය , බෙහෙත් පොට්ටනිය පබආදී වූ වචන ද මෙයට නිදසුන් ලෙස දැක්විය හැක. නමුත් නවකතාතරුවාගේ යම් යම් රචන උපක්‍රම කතා රසයට හානි වන අයුරින් ඉදිරිපත් වී ඇති බව ද කිව යුතුය. ඒ අනුව පබාවතිගේ සුමතිපාලගේ නිවසින් බේරාගෙන විත් විභූතිරත්න බක්කි කරත්තයේ තබන අයුරු කතුවරයා ඉදිරිපත් කරන ආකාරය අවස්ථාවට උචිත නොවන බවක් දක්නට ලැබේ.
 
බක්කි කරත්තය පිටුපසට ගිය ඔහු ධාතු කරඬුවක් වඩා තැන්පත් කරන පරිස්සමකින් පබාවතී එහි අසුනක් මත තැබුවේය... (264 පිටුව)
 
කෙසේ වුවද ගැමි ජනතාවගේ අර්ථ රසයට හානියක් නොවන පරිද්දෙන් මෙම භාෂා ශෛලිය ඉදිරිපත් කොට ඇති බව කිව යුතුය. ඊට අමතරව ස්වයංජාත නවකතාව තුළ උපහාස රසය ජනනය කරන භාෂා රටාවක් අන්තර්ගතය. එය ගැමි ජනතාවගේ මෙන්ම එදා සමාජ පැළැන්තිය උපහාසයට ලක් කරන්නත් බව ව්‍යංග්‍යාර්ථවත්ව ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සහ දරා ඇත. ඒ අනුව යක්කුටිගල ස්වාමීන් වහන්සේට යකා හාමුදුරුවෝ නමින් ගැමියන් හැදින්වීම මෙයට නිදසුන්ය. ඊට අමතරව මෙවැනි උදාහරණ මඟින් උපහාසය රසය ජනනය වේ.
 
කොහෙන්ද හාමිනේ මූ පබ්ලිනාහාමිගේ බඩට රිංගුවේ? (21 පිටුව)
ඒ ළමයා යකා හාමුදුරුවන්ගේ කපාපු පලුව... (25 පිටුව)
 
ඊට අමතරව විභූතිරත්නය පැණි කැවුම් ගෙඩිය ලෙස අන්වර්ථ නාමයක් භාවිතා කිරීම මතද එම භාෂා ශෛලිය තුළ හාස්‍ය මුසු උපහාස රසයක් ප්‍රතීයමාන වන බව කිව යුතුය. ඊඨ අමතරව යම් යම් අවස්ථාවලදී විභූතිරත්න කුස රජ්ජුරුවන් හට උපමා කිරීමද මෙයට නිදසුන්ය අවසානයේ කුස ජාතකයේ ආකාරයෙන් පබාවතී නම් තරුණිය කුස රජුට සමාන විභූතිරත්න සමඟ විවාහ වීම ද සහෘදයා තුළ උපරිම වශයෙන් උපහාසයක් මතු වන බව පැහැදිලිය. පබාවතී දියණියගේ නම් තබන අවස්ථාවේ ඇයගේ මව නම් තැබූ පුද්ගලයාට පවසනුයේ කුස රජුන් තම නිවසේම  සිටින නිසා පබාවතී යන තෝරාගත් බවයි. එවැනි නම් ද තම භාෂාවට යොදාගැනීම මතම පාඨක ආකර්ශණය උපරිමයෙන් ලැබේ. ඒ අනුව කතා රසය උපරිමයෙන් ජනිත කරමින් සහෘද ආකර්ශණය ලබාගැනීමට කතුවරයා භාවිතාකල භාෂා උපක්‍රම වල ඖචිත්‍යය වේ.
 
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහි ව ජාතික අරගලයක මූල බීජය උපන් 20 වැනි සියවසේ දෙවැනි දශකයේ පමණ සිට වාමාංශික ව්‍යාපාරයේ නැගීම හා වැටීම පිළිබිඹු කරන 70 දශකය පමණ දක්වා වූ අඩසියවසක සමාජ පරිවර්තනය මේ කතාවේ සමාජ පසුබිමයි. මෙම පසුබිම සංකල්ප රූප ජනනය කරමින් සංකේතාත්මකව ඉදිරිපත් කරමින් කතෘ තම අපේක්ෂාව සාක්ෂාත් කරගෙන ඇත. නමුත් බක්කි කරත්තය හැරුණු කොට එවැනි යටත් විජිතවාදී ලක්ෂණ වැඩි වශයෙන් ඉස්මතු නොවීම මත කතුවරයාගේ යම් අසාර්ථකත්වයක් ඉස්මතු වන බව ද කිව යුතුය.
 
තවද ස්වයංජාත නවකතාව තුළ භාවිත කල උපමා රූපක හා අලංකාරෝක්ති ගණනාවකි. පරිසර වර්ණනා , ස්ත්‍රී රූ සොබා වර්ණනා , සමාජ වර්ණනා ආදිය මේ යටතේ විස්තර කොට ඇත. ඒ අනුව ඒ ඒ අවස්ථාවට උචිත පරිදී මෙම වර්ණනාවන් භාෂාව උපයෝගි කරගෙන ඉදිරිපත් කර ඇත. ඒ අනුව යක්කුටිගල හාමුදුරුවන්ගේ ස්වභාවය විස්තර කිරීමේදී , විභූතිරත්නගේ ස්වභාවය විස්තර කිරීමේදී , පබ්ලිනාහාමිට දරුවා ලැබුණු අවස්ථාවේ ඒ පිළිබඳ දැක්වීමේදී , පබාවතීගේ හා මන්ද්‍රීගේ රූ සොබාව දැක්වීමේදී , විවිධ පරිසර වර්ණනා මෙන්ම විභූතිරත්නගේ යම් යම් කියාකලාපයන් විස්තර කිරීමේදී මෙවැනි අලංකාරෝක්ති භාවිතා කිරීම මඟින් නවකතාවේ කතා රසය තිව්‍ර කර ඇත. ඒ අනුව මෙම උපක්‍රම ඔස්සේ සහෘදයා තුළ විවිධ භාවයන් තුළින් රසයන් උද්දීපනය කරමින් නවකතාකරණාය් නියැලීමට නවකතාකරු උත්සහ දරා ඇත. ඒ ඒ අවස්ථාවන් 
 උපරිමයෙන් දැනවීමට භාවිත උපකරණ මෙන් මෙම ලක්ෂණ දැක්විය හැක.

■    හුඹහට වැදිච්ච තලගොයි දෙන්නෙක් වගේ කාමරේට වැදිලා ඉන්නේ නැතුව.... (12 පිටුව)
■    වෙදරාල සිතන්නේ සමාධි ප්‍රතිමාවක් දෙස බලා සිටින්නාක් මෙන් විභූතිරත්න දෙස බලා සිටිය හැකි බවය. (15 පිටුව)
■    උන් වහන්සේගේ දැලි අඟුරු පැහැති ස්ථුල කයත් , මුංකැවුමක් වැනි විරූපි මුහුණත්... (19 පිටුව)
■    කළු පුළුන් මිටියක් ළඟ තැබූ කළු කපුටු පැටියෙකු මෙන් සුදුවන් පබ්ලිනාහාමිගේ තුරුලේ නිදන දැළි අඟුරු පැහැති බිළිදාගේ... (32 පිටුව)
■    පබාවතීගේත තුරුණු රූ සපුව සුදු පැහැයෙන් දිදුලන කිරිගරුඩ රුවක් වැන්නැයි...
■    පළාවන් පැහැයෙන් යුතු ගොයමින් වැසුණු මහා වෙල්යායත් ඊට ඉහළින් පෙනෙන නිල්වන් අහස් තලයත් ඔහුට පෙනෙන්නේ කරත්තය පසුකොට ඇදී යන කොළ හා නිල් පැහැයෙන් යුත් විසල් තිරකඩක් මෙනි. කරත්තය එන හඩ අසා පටුමඟ අසල ලියදිවල සිට අහසට නැඟෙන කොක්රෑන් එම තිරකඩෙහි විසුරුවා හල සුදු තීන්ත පැල්ලම් වැන්න... (30 පිටුව)
■    පිට දිගට වැදුණු පොලු පහරෙහි ලකුණු වෙළක නියරක් මෙන් තදින් උඩට ඉලිප්පි තිබිණි’. (266 පිටුව)
 
මෙම නිදසුන් උපමා තුළින් ඒ බව මොනවට පැහැදිලි කරයි. භරතමුනිගේ රස සිද්ධාන්තයේ විවිධ රසයන් භාවයන් ඔස්සේ ජනනය කිරීම කතෘගේ ප්‍රතිභාපූර්ණ හැකියාව ගම්‍යමාන කරයි. පබ්ලිනාහාමි කෙරෙහි ඇතිවන ශෝකය මුසු කරුණා රසය, විභූතිරත්න කෙරෙහි ඇතිවන වීර රසය හා හාස්‍ය රසය, යක්කුටිගල හිමියන් කෙරෙහි ඇතිවන පිළිකුල් සහගත බීභත්ස්‍ය රසය හා කරුණා රසය , දියෝනිස් අප්පු හා විභූතිරත්න කෙරෙවි යම් යම් අවස්ථාවලදී ඇතිවන ක්‍රෝධ රසය ආදිය මෙයට නිදසුන් ලෙස දැක්විය හැක. ඒ අනුව එවැනි උපක්‍රම ඖචිත්‍ය ලෙස යොදා ගනිමින් සහෘදයාගේ රසවින්දනය තිව්‍ර කිරීමට කතෘ ගත් උත්සහය සාර්ථකය. පබාවතී තරුණිය සුමතිපාල ගේ නිවසේ සිරකරගෙන සිටි අවස්ථාවේදි සහෘදයාට ඇති වනුයේ ශෝකී හැඟීම පිරි කරුණා රසයකි. විභූතිරත්න ඇයව බේරාගනු ලැබූ අවස්ථාවේ ඔහු කෙරේ ඇතිවනුයේ වීර රසයකි. ඊට අමතරව විභූතිරත්නගේ විවිධ දක්ෂතා පිළිබඳව දැක්වීමේදී එනම් හෙළ වෙදකම පිළිබඳ ඇති නොවන, සාහිත්‍ය පිළිබඳ ඇති දැනුම මෙන්ම හීලැ නොවූ කේප්පයා මෙල්ල කිරීම වැනි අවස්ථාවලදී ඇති වනුයේ වීර රසයකි. පබ්ලිනාහාමි දරුවෙකු බලාපොරොත්තුවෙන් පන්සල හා සම්බන්ධ විශ්වාසයන් තබා ගැනීම මෙන්ම වෙදරාළ පවුල ඇතලු බොහෝ අය පන්සලේ පිරිත් පිංකමට සහභාගී වී කටයුතු කිරීම ආදී අවස්ථා වලදී පාඨතයා තුළ ජනනය වනුයේ ශාන්ත රසයයි. ඒ අනුව කතෘ එයට යොදාගත් ග්‍රාම්‍ය භාෂා රටාව කතෘගේ මෙම අරමුණ තවතවත් සාක්ෂාත් තොට ඇති බව කිව යුතුය.
 
වෙද පවුලක් වටා ගෙතුණු මෙම කතාව තුළින් හෙළ වෙදකමේ ස්වභාවය මෙන්ම දේශිය වෛද්‍යවරයෙකුගේ සැබෑ ස්වරූපය ඉස්මතු කිරීමට ගත් උත්සහය ද අපූරුය. එය ඉදිරිපත් කොට ඇති ආකාරය අනුව හෙළ වෙදකමේ ස්වභාවය මෙන්ම හෙළ වෙද ගෙදරක ස්වභාවය මනාව විශද වේ’
පබාවතීගේ සියුමැලි කකුල මදක් ඔසවා තම අත්ල මත තබා පරික්ෂා කරමින් සිටි විභූතිරත්නට වැටහී ගියේ කිසියම් වැටීමකදී කකුල නුහුරු අතට තැබීමෙන් ඇගේ ඇස් වටයේ සන්ධි ප්‍රදාහයක් සිදුවී ඇති බවය’’’ (265 පිටුව)
 
තැලුම් තෙල් ගාලා බෙහෙත් පොට්ටනි රත්කරලා ඉදිමුම වටේ තවන්න ඕනෑ. තුවාලේ නම් සිතෝදක තෙල් දෙතුන්පාරක් ගැවාම නිකන්ම සනීප වෙයි... (267 පිටුව)
මෙවැනී කරුණු ඉදිරිපත් කිරීමේදී සන්ධි ප්‍රදාහය , බෙහෙත් පොට්ටනි , සිතෝදක තෙල් වැනි දේශීය වෙදකමේ භාෂා ශෛලින් නැතහොත් වචන භාවිතා කිරීම මතම කතුවරයා සාර්ථක බව පැහැදිලිය. එනම් ඒ ඔස්සේ සහෘද පරිකල්පන ශක්තිය මෙන්ම නවකතාකරුගේ ප්‍රතීභා ශක්තිය ඉස්මතු කිරීමට එය කදිම උපහැරණයකි.
 
ඒ අනුව කතුවරයා උපමා උපමේය , රූපක භාෂාව , වාච්‍යාර්ථ , ලක්ෂාර්ථ , ධ්වනිතාර්ථ , සංකල්පරූප ආදී වූ භාෂා උපක්‍රම උපරිමයෙන් භාවිතා කරමින් තම අරමුණ මුදුන්පත් කොටගෙන ඇති ස්වභාවයක් ඉස්මතු වේ. ඉදිරිපත් කල යුතු දේ ඉතා සරල සුගම හා ප්‍රස්තුතයට උචිත පරිදීත් තෝරාගත් සමාජ සංස්කෘතික පරිසරයට උචිත පරිදීත් යොදාගැනීම කතා රසට හානියක් නොවන පරිද්දෙන් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් යුත්තව අපුරුවට කතාව ඉදිරිපත් කරමින් කතෘගේ නිපුණතාවය මනාව ඔස් නංවා ඇත. බුද්ධි විශයිකව පමණක් නොව භාව විශයික තත්වයන් ද මතු කරමින් නවකතාකරණයේ නියැදුණු සමරවීර විජයසිංහ නවකතාකරුවා වනාහී  උසස් කළාකරුවෙකු ලෙසත් ඔහුගේ මෙම ස්වයංජාත නවකතාව උසස් තුණයේ සාහිත්‍ය ප්‍රබන්ධයක් ලෙසත් හැදින්විය හැක.
 
අධ්‍යතන ලාංකේය ජන ජීවිතයේ නේකාකාර ජීවන රටාවන් කලාත්මක ගවේෂණයක හා අවලෝකනයකට හසුකර ගනිමින් හා අපූර්ව ආඛ්‍යාන විධීන් භාවිතයට ගනිමින් ද, සුභාවික සාහිත්‍ය පඨනයකට ඉඩ හසර විවර කරමින් ද පෙන්වන ලද නිර්මාණාත්මක ප්‍රාගුණ්‍යය හේතුකොට ගෙන 2008 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන්නේ සමරවීර විජයසිංහයන්ගේ ස්වංජාත නවකතාවයි.
 
උක්ත උපුටා ගන්නා ලද ප්‍රකාශිත හේතු පාඨය කොට ගෙන ස්වයංජාත මෙරට ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව වේ. සමරවීර විජයසිංහයන්ගේ සිව්වැනි නවකතාව ලෙස මෙය රචනා වේ.



No comments:

Post a Comment