Wednesday, July 26, 2017

දෙවෙනි මනාලිය


 දෙවෙනි මනාලිය 


ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ විය යුතුදැයි සැලසුම් කරන්නට පටන් ගන්නවා.

මංගල උත්සවයකදී වැඩිපුරම අවධානය යොමුවන්නේ මනාලියටයි. ඒත් එහෙම කියලා අනෙක් පිරිවර, නැත්නම්, මනාලයා, දෙවෙනි මනාලියන්, දෙවෙනි මනාලයන්, මල් කුමාර කුමරියන් ගැනත් අවධානය යොමු නොවෙනවා කියන්නට බැහැ. 


මීට වසර කිහිපයකට පෙර නම් දෙවෙනි මනාල මනාලියන් වැඩි පිරිසක් මංගල උත්සවයකදී දකින්නට ලැබුණේ නෑ. බොහෝ විට එක් අයෙකු එසේත් නැතිනම් කිසිවෙකුත් නොමැති විවාහ උත්සව තමයි ඒ කාලේ තිබුණේ. නමුත් අද වන විට අවම වශයෙන් දෙවන මනාල මනාලිය තුන බැගින්වත් පිරිසට ඇතුළු කරගැනීමට තරුණ තරුණියන් පෙළඹී සිටිනවා. ඒ නිසා මංගල දිනයේදී ඔවුන් සිටිය යුත්තේ කෙසේද, ඇඳිය යුතු ඇඳුම්ගැ පැළඳුම් මොනවාද යන්න ආදිය පිලිබඳ අවධානය යොමු කිරීම අනිවාර්යයි.

මනාලියගේ මංගල සාරි, ආභරණ, කොණ්ඩා මෝස්තර, මල් කලඹ, හැඩගැන්වීම් ආදියට මෙන්ම හැඩගැන්වීම්වල දී ද වැඩි ප්‍රමුඛත්වයක් ගෙන දෙන්නේ මනාලියටයි.නමුත් මෙහිදී මනාලිය මෙන්ම මනාලියගේ යෙහෙළියන් ලෙස සිටින දෙවැනි මනාලියන් ගැන ද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. මේ ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ දෙවන මනාලියන් තෝරාගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න ගැන සාකච්ඡා කිරීමටයි.

මනාලියගේ ස්වභාවය

මනාලියගේ යෙහෙළියන් තෝරා ගැනීමේදී හැමවිටම මනාලියගේ ස්වරූපයට ගැළපෙන අයුරින් හා ඇගේ උස මහතට ගැළපෙන ලෙසින් තෝරාගැනීම කළ යුතුයි.

මනාලියට වඩා වඩාත් මහත වූ වඩාත් කෙට්ටු වූ හෝ උස් වූ නැත්නම් වඩාත් මිටි වූ ස්වරූපයේ අය තෝරා නොගැනීමට කල්පනාකාරී විය යුතුයි. ඇතැම් අවස්ථාවල මනාලියට වඩා වඩාත් වැඩිමල් බවක් පෙනෙන හෝ මනාලියට වඩා ඉතාමත් ළාබාල පෙනුමක් ඇති යුවතියක් දෙවැනි මනාලියන් සඳහා තෝරා ගන්නා අවස්ථාවන් තිබෙයි. මෙයද නො කළ යුතුයි. මේ සඳහා මනාලිය තෝරාගත යුත්තේ තම සම වයසේ සිටින අයයි. විශේෂයෙන්ම මනාලියගේ උස මහතට අනුව දෙවැනි මනාලිය ගැළපෙන තැනැත්තියක් වියයුතුයි. එසේ නොමැතිව හිතුමතේට මනාලියගේ යෙහෙළියන් තෝරා ගන්නට යාමෙන් නොගැළපීම් මතු වී පෙනෙන්නට පුළුවනි.

එවිට සිදුවන්නේ මනාලියට වඩා දෙවෙනි මනාලියන් ඉස්මතුවී පෙනීමයි. එය ඡායාරූප ගැනීමේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට පුළුවන්.

රූපලාවණ්‍ය සත්කාර

මංගල දිනයට හය මසකට කලින් මනාලිය තම රුව ගැන සැලකිලිමත් විය යුතු බවටත් රුවෙහි අඩුපාඩු සාදා ගත යුතු බවත් ෆේෂල් සත්කාර සඳහා පැමිණිය යුතු බවටත් උපදෙස් ලැබෙන බව හැමෝම දන්නා කරුණක්. නමුත් දෙවැනි මනාලියන්ට මෙවන් අවධානයක් යොමු වෙන්නේ නැහැ. මනාලියට මෙන්ම දෙවැනි මනාලියන්ට ද මෙවන් උපදෙස් ලබාදීම අවශ්‍යයි.

බොහෝවිට මංගල දිනය ආසන්න වනතෙක් රූපලාවණ්‍ය ශිල්පියා හමුවීමට මනාලිය පැමිණිය ද දෙවැනි මනාලියන් රූපලාවණ්‍ය ශිල්පියා හමුවට නොඑන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. ඇතැම්විට පවසන්නේ ඔවුන් යම් යම් රාජකාරි නිසා ගෙන ඒමට අපහසු බවයි. මේ නිසා මනාලියගේ යෙහෙළියන්ගේ හැඩගැන්වීම්වලට නිවැරැදි නිගමනයකට එළැඹීමට රූපලාවණ්‍ය ශිල්පියාට නොහැකි වෙනවා. ඉතින් මංගල දින උදෑසන තමයි කිසිදු පෙර සූදානමක් නොමැතිව හැඩ ගැන්වීම් කටයුතු කරන්නට සිදුවන්නේ.

එවිට හිස කෙස්වලට තෙල් දමා තිබීම, හිසකෙස් හරිහැටි සකසා නොතිබීම, ඇහිබැමි සකසා නොතිබීම, අනවශ්‍ය රෝම ඉවත්කර නොතිබීම, නිය ක්‍රමවත්ව සකසා නොතිබීම, මුහුණේ කුරුලෑ ලප කැළැල් තිබීම වැනි ගැටලුවලට මුහුණ දෙන්නට රූපලාවණ්‍ය ශිල්පියාට හෝ ශිල්පිනියට සිදුවනවා.

විලාසිතා තෝරාගැනීම

දෙවෙනි මනාලියන් සඳහා තෝරාගන්නා විලාසිතා, ඒවායේ වර්ණ ආදිය මනාලිය හැඩගන්වන ආකාරය සහ ඇයගේ ඇඳුම්වල වර්ණ අනුව ගැළපීම ඉතා වැදගත්. මනාලිය සැරසෙන්නේ උඩරට ක්‍රමයට නම් දෙවෙනි මනාලියන්ගේ විලාසිතාවන් ද එයට ගැළපෙන සේ වියයුතුයි. මනාලිය පහතරට හෝ බටහිර ක්‍රමයට සැරසෙනවා නම් දෙවෙනි මනාලියන්ගේ ඇඳුම් විලාසිතාවන් ද ඒ අනුව ගැළපී තිබීම අත්‍යවශ්‍යයි. 




දෙවෙනි මනාලියන් සංඛ්‍යාව

දෙවැනි මනාලියන් තෝරා ගන්නා විට මේ ලිපියේ මුලදී සඳහන් කලාක් මෙන් අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී දකින්නට පුළුවන්. මෙය අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේදී ද ගැටලු මතුවෙන්නක්. හැමවිටම තමන්ට ගැළපෙන ලෙස දැරිය හැකි ලෙස තමන්ට පහසු විදිහට කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. නැතිනම් සිදුවන්නේ මංගල උත්සවයෙන් පසු දෙදෙනා එක්ව ජීවිතය විඳිනවා වෙනුවට මංගල උත්සවය සඳහා ගත් ණය පියවා ගැනීමට සැලසුම් සකස් කරමින් ලතවීමට සිදුවීමයි. ඒ නිසා තමන්ගේ මට්ටමට වැඩ කටයුතු කිරීම වැදගත්.

No comments:

Post a Comment