Friday, July 14, 2017

ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කළ කලාකරු අමරසිරි පීරිස් ගේ තවත් ගීයක්



ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කල අමරසිරි පීරිස් ගේ තවත් ගීයක් 



ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය. ඒ අතුරින් මා මෙවර තෝරා ගන්නේ ඉරි තැළුනු වළා ගීතයයි. මෙයින් කියවෙන්නේ පාරේ යන පෙම් යුවලක් පිලිබඳවද නැතහොත් වෙනත් දෙයක් පිලිබඳවද? සරල ලෙස ගීතයට සවන් දෙන අයෙකුට හැඟී යන්නේ කිසිම තේරුමක් නැති පාරක් කහ ඉරක් ගැන ඔහේ කියවෙන වදන් පෙළකි. නමුත් මා හට හැඟුනේ වෙනත් අරුතකි. මෙයින් ගෙන හැර පාන්නට උත්සාහ කරන්නේ වර්තමාන සමාජය පිලිබඳවයි.

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු  මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

රිය පෙලේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා


රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...

                                                                                                                         උ ගැ

No comments:

Post a Comment