Wednesday, July 26, 2017

කේයස් කවියාණෝ


 කේයස් කවියාණෝ 



සාගර පලන්සූරිය මහතා ප්‍රවීන ලේඛකයකු මෙන්ම කවියකුද වන සාගර පලන්සූරිය මහතා 1910 රත්නපුරයට නුදුරු කළල් ඇල්ල නමැති ගමෙහි උපත ලැබුවේය. එතුමා කළල් ඇල්ලේ ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවේය.

වෘත්තීමය ගුරුවරයකු ලෙස තම සේවය ආරම්භ කළ පලන්සූරිය මහතා විද්‍යෝදය පිරිවෙන, කොළඹ ආනන්ද හා නාලන්ද යන බෞද්ධ විද්‍යාලවල මෙන්ම මොරටුවේ වේල්ස් කුමාර විදුහලේද කලක් සේවය කළේය. එසේම ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස යාපනය ප්‍රදේශයේ ද මෙතුමා සේවය කළේය.

මුල් කාලයේදී පලන්සූරිය මහතා කළල් ඇල්ලේ ආනන්ද සාගර නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර පසු කාලයේදී ඒ නම සංක්‍ෂිප්ත කිරීමෙන් තනාගත් ‘කේයස්‘ යන නම භාවිතා කළේය. ශාසනික හා සමාජීය සේවාවන් කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ ඒ මහතා ලේඛන කලාවෙහිද නිරන්තරයෙන්ම නියැළුනේය. තුරුණු වියේ සිටම පුවත්පත් සඟරා ආදියට කවි හා ලිපි සැපයීමෙන් තම රචනා ශක්තිය මුවහත් කරගත් ‘කේයස්‘ කිවිඳු පසු කලෙක ‘සුදෝ සුදු‘ කාව්‍යය රචනා කිරීම හේතුවෙන් මහත් ජනප්‍රියත්වයට පත් වූයේය. මෙම ‘සුදෝ සුදු‘ කාව්‍යය ටෙනිසන් නමැති ඉංග්‍රීසි කවියාගේ ‘ඊනොක් ආර්ඩන් (ENOC ARDEN ) නම් කාව්‍යය ආශ්‍රයෙන් රචනා කරන ලද්දකැයි සැළකේ.

මෙතුමා අග්‍රගන්‍ය කාව්‍ය රචකයකු පමණක් නොව දක්ෂ දේශපාලඥයකු ලෙසද ප්‍රකටය. හොරණ ආසනය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස මෙතුමා කටයුතු කළේය. එසේම තම ජීවිතයේ අවසාන භාගයේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ සංවිධායක ධූරයද දැරීය. හෙළ කවි බිම මහාර්ඝ කාව්‍ය පුෂ්පයන්ගෙන් අලංකරණය කිරීමට දායක වූ කළල් ඇල්ලේ ආනන්ද සාගර පලන්සූරිය නම් වූ මේ ශ්‍රේෂ්ඨ කාව්‍යධරයා 1961 ජූනි 22 දින අප අතරින් සදහටම සමුගත්තේය.

සාගර පලන්සූරිය මහතාගේ පද්‍ය කෘති

මල්හාමි
විසිවුණ තරු
අපේ ඇත්තන්ගේ විත්ති
කාලකණ්නියා
කැළණි විත්ති
කන්දේ ගෙදර
පිළිරුව 
පරිණාමා

පරිණාමා 

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස

ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
 
උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.

No comments:

Post a Comment