Saturday, July 22, 2017

සිබිල් ගේ හා රත්න ශ්‍රී ගේ සුසංයෝගය

සිබිල් ගේ හා රත්න ශ්‍රී ගේ සුසංයෝගය..




සිබිල් වෙත්තසිංහ අපේ රටේ ජීවත්වන විශිෂ්ඨතම සාහිත්‍යවේදිනියකි. ලිවීමේ හා ඇඳීමේ කළාව අතින් ඇය තවමත් මුදුන් තලයේ සිටින කලාකාරියකි. ඇය මේ වන විට තම දිවියේ නව වැනි දශකය පසු කරමින් සිටී.
ඇගේ විශේෂත්වය වන්නේ වැඩිහිටියන්ගේ කෝණයෙන් දරුවන් දෙස නොබලා දරුවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් ලෝකය දෙස බැලීමයි. ඇගේ බොහෝ ළමා කතාවල සීයලා , ආච්චිලා දක්නට ලැබේ. මේ අයගේ මන්දස්මිතිය දරුවන්ගේ සිත් පැහැර ගනී.





රත්න ශ්‍රී විජේසිංහ කවියා ලීයූ පරමල් කාව්‍ය නිර්මාණය සාකච්ඡාවට ගත යුතුය.
බලන් මේ මල්හී පරමල් සුවඳ
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලෙක
මහළු මව් කෙනෙකුගේ මුව රැදුණු
සිනාවක් සේ ප්‍රෙමයෙන් පිරුණ
පරමල් කවියෙහි ඇතුළත් මේ පේළි හතරෙහි මහළු වියෙහි ජීවන සත්තාව පිළිබඳ අපූරු නිරීක්ෂණයක් පවතී.
මහළු මවු කෙනෙකුගේ සිනහව ප්‍රේමයෙන් වෙළි පවතී. මිත්තණියගේ සීදේවිකමෙහි රහස එම සිනාව සහ සීමිත ඇඳුමෙහි නොකිළිටි ගතිය යැයි සිතේ. රත්න ශ්‍රී කවියාගේ කවිපද මදක් විස්තර කිරීමෙන් පසුව මන්දස්ම්තියෙන් සුන්දර වූණු වියපත් කාන්තාවගේ මුහුණෙහි චිත්‍රය අපූරුය. එය වැටහෙන තරම් මෘදු හදක් ඇත්තවුන්ට රත්න ශ්‍රී කවියේ අරුත වටහාගැනිම පහසුවෙයි. තරුණ යුවලක් තම සිඟිති දරුවාගේ හැඩීම නවත්වා ගැනීමෙහිලා අසමත් වෙයි. දන්නා නැළවිලි ගීයක් ද නොමැති නිසා වඩාත් අසරණ වෙයි.
 කෝ දියල්ලා ඔය පැටියා මෙහාට
මෙවන් අවස්ථාවක මිත්තණිය මැදිහත් වෙයි. මිත්තණියගේ ළයෙහි උණුසුමින් දරුවා සන්සුන් වෙයි.ඇයඟේ සීදේවි සිනහව දරුවාට රසදුනකි. පරවුණු කැඩුණු මල්පෙති වල ද මුදුමෙළොක් බවක් තිබේ. පේමයෙන් පිරුණු සිනාවක් තිබේ. එසේ හෙයින් ඒ මල් පාගා දැමිය යුතු නැත. රත්න ශ්‍රී ගේ කවියේ යටිපෙළ අරුත සුන්දරය.

රත්න ශ්‍රී ගේ කවිය සමඟ සිහිපත් වන සිබිල් ගේ ළමා කතා වල මහළු චරිත අපට නිහඩව බොහෝ දේ කියයි. සිබිල් ගේ ළමා කාලය එක් අවස්ථාවකදී මෙසේ සනිටුහන් වෙයි.

මගේ අකමැත්තෙන් ගමේ ඉදලා කොළඹ එක්කන් එනකොට මට වයස අවුරුදු හයක් විතර ඇති. මම හරිම දුකින් ආවේ. ඒ මගේ පුරුදු පරිසරය දාලා එන්න බැරිව. මගේ හඳවත එතැන නැවතුනා. ඒ හැඟීම එලෙසම පැවතුණා. වැඩිහිටියෙකු හැටියට මම ලියන , අඳින හැමදේම අවුරුදු හයේ දැරියගේ හැඟීම ස්පර්ශ කරනවා. ඒ තමයි මගේ චිත්‍රය , මගේ සාහිත්‍යය. ඒ කුඩා දැරිය තමයි මගේ අභ්‍යන්තරයේ ජීවත් වෙන්නේ,

සිබිල්ගේ මේ ප්‍රකාහය අව්‍යාජය. සිබිල්ගේ කතාවල මිත්තණියගේ අතේ එල්ලී ගමන් කරන දැරිය ප්‍රීතිමත්ය. මිත්තණියගේ ප්‍රසන්න බව , මුදු මොළොක් ඇමතුම , ආදරය දැරියගේ හඳවතට ජීවන රසාකරයකි.

පඩිපෙළින් බැස අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි එන අයට ඉඩදෙන්න
එපා පරමල් පයින් පාගන්න

රත්න ශ්‍රී ගේ පරමල් කවිය ඇරඹෙන්නේ එසේය. ඔහුගේ දෙවෙනි කවිපොත වන 1985 දී පළ වූ වස්සානයේ කෘතියට එය ඇතුළත්ය. රත්න ශ්‍රී ගේ කවිය හා සිබිල් ගේ ළමා කතා වල සැසඳීම සුන්දරය. අරුත්බරය. ඒ බව හැඟෙන්නේ පරමල් සුවඳ කවි අංකුර එක්පෙති දෙපෙතී වී පොළොවෙන් උඩට නැඟෙන කල්හිය.

                                                                                                                 උ ගැ

No comments:

Post a Comment