Tuesday, May 9, 2017

සමාජ විරෝධය ගීතයෙන්



 සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොදුරු දසුන්)



උපරිනත කාව්‍ය සංකල්පනා වලින් පරිණත කවියා සහෘදයා අභිමුව නෙළා සිය පන්හිදෙන් වාග් සරණියට හසුරුවා දායාද කරන කාව්‍යානුභූතිය තුළින් සෞන්දර්යය ආශ්වාදය මෙන්ම ජීවිත පරිණතිය ද උපරිමයෙන් ගැබ්ව තිබේ. ඒ අනුව අපාරගම්‍ය අත්දෑකීම් සයුරෙහි නිමග්න වන ශූර කළාකරුවා වනාහි අත්දැකීම් මිණිමුතු සහෘදාකර්ෂණයට බදුන් කරලීමට නව්‍යතාවයෙන් යුතු උපක්‍රම භාවිතා කළ අයෙකි. ඒ අනුව සහෘද රසාස්වාදය මෙන්ම ජීවන නිෂ්පත්තිය මෙන්ම සමාජ නිෂ්පත්තිය ද පෙන්නුම් කිරීමෙහිලා ගී පද රචකයා තම පන්හිඳ වාග් සරණියට හසු කල අයුරු අපූරුය. ගී පද රචකයා ගතානුගතික මතිමතාන්තර තුළ සමාජ ගර්වයෙන් පූජනීයත්වයට පත් වූ ප්‍රභූ සමාජ පංතිය ඔස්සේ සිංහල සංස්කෘතිය දේශිය අනන්‍යතාවය සිඳී බිඳී වියැකී යන ආකාරය හේතුවෙන් සිංහල සමාජ සංස්කෘතිය විපර්යාසයකට බදුන් වන ආකාරය සහෘදයාගේ චිත්ත අභ්‍යන්තරය ස්පර්ශ කරන අයුරු ඉදිරිපත් කොට ඇත.

සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා

වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
                                                             ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
                                                              ගායනය -  නන්දා මාලනී

සමාජයේ තවත් එක් දුර්වල පැතිකඩක් අපූරුවට විවේචනය කිරිමට බෙහෙවින් ම ගැළපෙන ගීතයක් ලෙසට මෙම ගීතය හැදින්විය හැක. දේශීය සංස්කෘතියට සභ්‍යත්වයට හානිකරවන පැතිකඩක් උපරිම අයුරින් විග්‍රහ කිරීමට මෙම ගීතයට හැකිව ඇත. සුනිල් ආරියරත්න ශූරින්ගේ ගේය පද වලට නන්දා මාලනි නම් වූ සූභාවිත ගායිකාවගේ හඩ පෞරුෂය සුසංයෝගයෙන් රසික හදවත් ස්පර්ශ කල මෙම ගීතය අධ්‍යයතන සමාජ යථාර්තය අපූරුවට ප්‍රතිනිර්මාණය කරයි. වර්තමාන සමාජ ප්‍රපංචය තුළ දේශියත්වයට දේශිය සංස්කෘතියට සිදුවන විපර්යාසය දැනවිමට මෙන්ම නූතන සමාජ ජීවියාගේ ක්‍රියාකලාපයේ ඇති ශෝචනීය තත්වය හදුනා ගැනීම කෙරෙහි ද සුදුසුතම කලාංගයත් බවට සුනිල් ආරියරත්න ශූරින්ගේ හා නන්දා මාලනියගේ මෙම සුකිරි බටිල්ලන්ගේ ගීතය හැදින්විය හැක. දේශියත්වය සමාජ ශෝධනයකට බදුන් වන ආකාරය ද මෙම ගීතය තුළින් විද්‍යමාන වේ.
                   1948 න් පසු ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව අප රට ස්වාධීන දේශයක් බවට පත් වුව ද බටහිර ගැත්තන්ගේ ක්‍රියා කළාපය හේතුවෙන් දේශීය සංස්කෘතියට වන විපර්යාසය අපූරුවට ශ්‍රාවක රසික හදවත් සංතර්පනය කිරීමට ගී පද රචකයා ගායකයා මෙන් ම තනු නිර්මාපකයා ද ගත් උත්සහය අඟය කළ යුතුය. තමන් හැදුණු වැඩුණු දේශයේ අනන්‍යතාවය සභ්‍යත්වය බටහිරකරණයට නතු කරවමින් අපට උරුම දේශයේ සංස්කෘතිය විනාශයට පත් කරන ආකාරය මෙතුළින් අපූරුවට වීග්‍රහ කිරීමට ගේය පද රචකයට දැරූ උත්සහය අඟය කළ යුතුය. නූතන සමාජ පැළැන්තියේ එක් කොට්ඨාශයකගේ ක්‍රියා කළාපය හේතුවෙන් මුළු මහත් සමාජ ප්‍රපංචයම අගතියට ලක් වන බව ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා නන්දා මාලනියගේ හා සුනිල් ආරියරත්නයන්ගේ කළාකාමිත්වය වෙසෙසින් ඉවහල් වී ඇත. එම බටහිරකරණයට ලක්වීම නම් සංකල්පය උපහාසාත්මක ලෙස විවේචනයට බදුන් කිරීමෙහිලා මෙම ගීතය ඔස්සේ ගත් උත්සහය සාර්ථකවී ඇත.

සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා.

සෑම විටම දේශීය ඌරුව පසෙක හෙළා දමමින් කටයුතු කරන ජනතාවගේ ක්‍රියා කළාපය ඔස්සේ මෙලෙස බටහිර ගැත්තන්ගේ නිරුවත විවේචනය කරන්නක් බවට මෙම ගීතය නම් කළ හැක. එය සමාජය තුළ ගොඩනැගෙන්නා වූ විරෝධාකල්පයක් බවට ද ගීතය ඔස්සේම ඉස්මතු කර දැක්වීමට කවියා යොදා ගත් උපක්‍රම අපූරුය. සරල සුගම භාෂා රටාවකින් මෙන්ම වාග් භාෂා ශෛලි්‍යකින් යුක්තව මෙය අපූරුවට විවරණය කර ඇත. හෙළ සිරිත් විරිත් වලට අනුව ජීවත් වීය යුතු බවත් නමුත් අද සමාජ ප්‍රස්තුතය තුළින් එම කාර්යය භාර්යය නොපිරිහෙලා ඉටු නොවන බවත් අපූරුවට ගීතය ඔස්සේ විවේචනය කර ඇත.      
“ සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා“ මෙයින් පද රචකයා අදහස් කරන්නේ ඇස , කණ , නාසය , දිව , ශරීරය නමැති පංචේන්ද්‍රිය පිනවීමට පමණක් අද සමාජ ජනයා කටයුතු කරන බවකි. රටේ අනාගතය සිංහල සංස්කෘතියේ අනාගතය එසේ කිරීමෙන් ආගාධයට වැටෙන බව ඉතා සරලව ගම්‍යමාන කිරීමට මෙම ගීතය ඔස්සේ ගත් උත්සහය සාර්ථකය. එනම් බටහිරකරණයට ගැති වී එක් මොහොතක සතුට වෙනුවෙන් පමණක් කටයුතු කළහොත් රටට වන අකරතැබ්බය ප්‍රතිභා පූර්ණව විවරණය කර ඇත. ඇසට මිහිර ගෙනෙන දසුන් , දිවට මිහිර ගෙනෙන බොජුන් වලට පමණක් මුල් තැන ලබා දී දේශීය උරුමය අනන්‍යතාවය කෙළෙසන බව මෙම ගීයෙන් ප්‍රකට කෙරේ. එනම්  ඇසට ප්‍රිය දේ මෙන්ම අප්‍රිය දේද සමාජයේ පැවතුණ ද ඉන් නූතන සමාජය උකහා ගන්නේ ප්‍රිය දේ පමණක් බවත් ඒ දෙය මඟින් රට දැය ජාතියට සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු නොකරන සමාජ තත්වයක් බිහිව ඇති බවක් පෙන්නුම් කරන අතර එම සමාජය විරෝධයට ලක් කිරීම ගීත නිර්මාණයේ මූලික අරමුණ වේ. සිංහල සමාජ සංස්කෘතියට නොගැළපෙන අශෝභන සිදුවීම් දැක දැකත් එය එසේ නොවීමට වග බලා නොගන්නා අමන පරපුරක් සමජය තුළ වෙසෙන අතර එම අමන පරපුරෙහි ක්‍රියා පටිපාටිය උපහාසාත්මක ලෙස විරෝධයට ලක් කිරීමට මෙම ගීතයේ අර්ථය කදිම නිදසුන් සපයයි. “උදේ හවා දෝත නඟා එතෙරට වැඳ පුදල්ලා“ යනුවෙන් විරෝධයට ලක් කොට ඇත්තේ ද මෙම බටහිර ගැත්තන්ගේ ක්‍රියාවන්ය. එනම් දේශීයත්වය ආරක්ෂා නොකොට බටහිරකරණය වැළද ගන්නා සමාජයක යථා ස්වරූපය අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමට ගේය පද රචකයා ගත් උත්සහය සාර්ථකය. ඒ අනුව ඔහු උත්සහ දරා ඇත්තේ බටහිර ට ගැතිකම් කරන දේශීය ජනයා විරෝධයට ලක් කිරීමයි. බටහිරවාදී ධනපති පැළැන්තියට උඩගෙඩි දෙන පිරිස හේතුවෙන් එය දේශීය සමාජය විරෝධීකරණය ට ලක් කරන බව මෙහිදී සඳහන් කෙරේ. ඊට අමතරව බටහිර සංස්කෘතියෙන් ලැබෙන ඔිනෑම කසල ගොඩක් වැළඳගෙන අප රටේ උරුමය අනන්‍යතාවය කසළ ගොඩට ඇඳ දමන පිරිස විවේචනය කිරීමක් මෙතුළ අන්තර්ගත වේ.  ඒ අනුව දේශීය සංස්කෘතියට හිමිකම් කියන දෑ මඟහැර බටහිර සමාජ පැළැන්තියේ අංගයන් වැළඳ ගන්නා දේශිය විරෝධී සමාජ පැළැන්තියේ යථාර්තය හෙළි කිරීමට නන්දා මාලනියගේ මෙම ගීතයට හැකිව ඇත. එය එසේම කරන්නැයි පසුව දේශියත්වය බටහිරකරණයට විකුණන්නැයි පවසමින් බටහිර ගැත්තනි විවේචනය අපූරුවට සිදු කර ඇත.

වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා

තමන්ගේ යහපතට, තම වාසියට තමන්ගේ අභිවෘද්ධියට පමණක් කටයුතු කරන සමාජ ක්‍රමය විරෝධයට ලක්කර ඇත. ශ්‍රි ලංකාවේ දේශපාලන ක්‍රමය මෙයට කදිම නිදසුනකි. තමන්ට යම්කිසි වාසියක් සිදුවන පැත්තට යන අකාරය මින් මතු කෙරේ. එනම් වර්තමාන දේශපාලන ක්‍රමය තුල තමාට යම්කිසි සෙතක් වේ නම් එම පැත්තට යන බවත් එයින් සමාජයට සිදුවන හානියන් අපුරුවට විරෝධයට ලක්කොට ඇත. ඒ අශ්‍රයෙන් පුද්ගල දූර්වලතාවයන් විවේචනය කොට ඇත. එනමි දේශිය සංස්කෘතියට නොගැළපෙන දෑ                                      සිදුකරනු ලබන බව මින් තවදුරටත් අවධාරණය කෙරේ. තමන් හැදුණු වැඩුණු රටට ජාතියට නිග්‍රහ කොට පරගැත්තන්ගේ ඕනැ එපාකම් ඉටුකරන ස්වාභාවයන් අපුරුවට උපුටා දැක්වීමට ගේය පද රචකයා උත්සහ දරා ඇත. එනමි “බීපු ළිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා යන පදයෙන් එය මනාව ගම්‍යමාන වේ. එනමි දේශිය සභ්‍යත්වය විනාශ කර දමා බටහිරකරණයට නතු වීම නමි වු සමාජයේ දුර්වල පැතිකඩක් විවරණය කිරීමට අපුරු වාග් සුසංයෝගයකි භාවිතා කර ඇත. “දනින් වැටි නළල ඔබා නිලතල අරගනිල්ලා,       රfටි කිසියමි හෝ නිලතලයක් ලබා ගැනිමට ඔිනැම අයහපත් වැඩක වුවත් නිරත වන පිරිසක් සිටින සමාජය අපුරුවට විවේචනය කර ඇත. තමන්ගේ වාසියට යහපතට තමන් එයට නුසුදුස්සෙක් වුවද ඔිනැම ගැතිකමන් කොට එම නිලතල දරා සමාජ අඟතියකට පත් කරන්නේකුගේ චරිතය කදිමව විවේචනය කිරිමට ගීත හිමිකරු සමත් වි ඇත. ඉන් පසුව තම මඩිය එනමි තම සාක්කුව පුරවාගෙන ආත්මාර්ථකාමි වු සටනක නියැලෙන පාලක පක්ෂය අපුරුව ට උකහා දක්වා ඇත. එනම් තමන්ට එම ගරු නම්බු නාම පදවි ලබා ගැනීමට ඕනෑම පහත් වැඩක් වුව ද කිරීමට සමත් පිරිසක් රට තුළ වෙසෙන බව මින් අවධාරණය කරයි. දේශීයත්වයේ අනන්‍යතාවය රැකගැනීම පසෙකලා තම අභිවාද්ධිය සඳහා සටන් කරන පාලක පිරිසෙහි යථා ස්වරූපය නැතහොත් නූතන ලාංකීය දේශපාලන ස්වරූපය අප සංස්කෘතියට නොගැළපෙන බව උපහාසාත්මක ලෙස විරෝධයට ලක් කොට ඇත.

දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා

දේශීය සංස්කෘතිය , දේශීය අනන්‍යතාවය සුරකින දේශයට ආදරය කරන , දේශයට ණයගැති පිරිසක් ද රට තුළ සිටින දේශ හිතෛශීන් පිරිසක් ද මෙම සමාජය තුළ වෙසෙන බව කවියා ව්‍යංග්‍යාර්ථයෙන් ඉස්මතු කරයි. දේශයට , දේශීය භාෂාවට , දේශීය සංස්කෘතියට ගරු බුහුමන් කරන පිරිසට හෘදයාංගවම ඇමතීමක් සිදුකරමින් ගී පද රචකයා හා ගායිකාව තම අරමුණ සාක්ෂාත් කර ගත් සෙයක් පෙනේ. කවිසිළුමිණ අමාවතුර යනු දේශීය අනන්‍යතාවය හෙළි කරන යතිවර සම්ප්‍රදායකි. මෙවැනි සාහිත්‍ය ගුණයෙන් අනූන කෘති වල අන්තර්ගත අපගේ සංස්කෘතික උරුමය කෙමෙන් කෙමෙන් පිරිහෙන බව අතිශයෝක්තියෙන් යුතුව ඉදිරිපත් කිරීමට කවි සිත සමත්ය. “ කවිසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා“ යන පදය තුළ ඉහත දක්වන ලද කරුණු කාරණා සියල්ල ගැබ් වී ඇත. දේශීය සභ්‍යත්වය විදහා දැක්වෙන එවැනි සාහිත්‍යයමය අංග වල ඇතුළත් කරුණු කාරණා බටහිරකරණය වීමත් සමඟ නුතන සමාජ ප්‍රපංවය විසින් එය ප්‍රතික්ෂේප කරන ආකාරය මින් පැහැදිලි කරයි. ඒ අනුව සුචරිතවත් සමාජයක් බිහිකිරීම නම් වු ගීතයේ අරමුණ එසේ ඉටු නොවන්නට හේතුව මෙම බටහිර අනුකරණාත්මක සිතුවිලි බව මින් අපූරුවට ගම්‍යමාන කෙරේ.
                   “සුකිරි බටිල්ලන් එක්කලා බයිලා පොළට ඇවිල්ලා
                   රවිකිඤ්ඤා  තාල අනුව කපිරිඤ්ඤා      වයල්ලා“
    මෙහි දැක්වෙන සුකිරි බටිල්ලන් යනු බටහිර ගැත්තන්ය. නැතහොත් තම වාසිය තකා සිටින පාලකයන්ය. නැතහොත් බටහිර මතවාදයන් ට නතු වූවන්ය. ඔවුන් සමඟ එකතු වී රටේ උරුමය තව තවත් අගාධයට ඇඳ දමන ලෙස ඉල්ලා සිටින්නේ උපහාසයෙනි. මේ ඔස්සේ බටහිර අනුකරණය කරන්නන් ගේ යථා ස්වරූපය විරෝධයට ලක් කරනුයේ ද උපහාසාත්මක භාෂා ශෛලයකිනි. සුකිරි බටිල්ලන් , බයිලා පොළ , රවිකිඤ්ඤා තාල , කපිරිඤ්ඤා ආදි පද ඔස්සේ වාග් හරඹයකට ලක් කරනුයේ රසික හදවත් ගැඹුරටම සංස්පර්ශ කරමිනි. සුකිරි බටිල්ලන් යනු රාජ්‍ය විරෝධී කණ්ඩායමයි. නැතහොත් අනවශ්‍ය ලෙස රටට ජාතියට තම බලය පතුරුවන පිරිසයි. මෙම පිරිසට අවශ්‍ය පරිදී කටයුතු කිරීම විරෝධි සංකල්පයක් බව ව්‍යංග්‍යාර්ථයෙන් ගම්‍යමාන කිරීමට ගීත රචකයා සමත්ය. එය නූතන දේශපාලන රටාව විරෝධයට ලක් කිරිමට ද සුදුසුතම උදාහරණයකි. ඔවුන් එකතු වී රට තව තවත් දූෂණය කරන බව ද මෙයින් අදහස් කරයි. එනම් බටහිර ගැත්තන්ගේ පැවැත්ම රුඳී පවතින්නේ මෙම තත්වය මත බවත් ඉන් තොර පැවැත්මක් ඔවුන්ට නොමැති බවත් මින් තවදුරටත් පැහැදිලි කෙරේ. එම තත්වය නැතහොත් පැවත්ම රැක ගැනීමට ඔවුන් අසායසහය උත්සහයක නිරත වන බව මෙම ගීතය පුරාවටම විග්‍රහ කෙරේ. එය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට අනුව ප්‍රතික්ෂේප විය යුතු බව ගීතයේ අරමුණයි. තමන් හැදුන වැඩුන රටට ජාතියට ආගමට නිගා කිරී මෙම ගීතය ඔස්සේ අපූරුවට විරෝධයට ලක් කරයි. කවිසිළුමිණ අමාවතුර යනු අප සංස්කෘතියේ ආගමික උරුමකම් වේ. ඒවා කසල ගොඩට දමල්ලා යනුවෙන්  අදහස් කරනුයේ දේශීයත්වය පාගා දමා බටහිරකරණයට ලක් වන්නන් විවේචනය කිරීමටය. එතුළින් ද ගීත රචකයාගේ ප්‍රතීභා ගුණය ඉස්මතු කර ඇත. 
                        නුතන සමාජයේ පවතින යථාර්තවාදි බව මුළු ගීතය පුරාම ගැබ්ව ඇත. එය වචන කිහිපයකට ගොනු කරන්නට සුනිල් ආරියරත්නයන් ගත් උත්සහය ඔස්සේ ඔහුගේ ප්‍රතීභා ගුණය මැනවින් ප්‍රත්‍යක්ෂ කරයි. එමෙන්ම ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන අයුරින් එම වචන නාද මාලාවකට හා තනුවකට ගොනු කිරීම මඟින් විරෝධාකල්පය ඉස්මතු කිරීමට ගත් උත්සහය අති සාර්ථකය.  ගරු නම්බු නාම තනතුරු වෙනුවෙන් දේශීයත්වය විනාශ මුඛයට ඇද දමන ස්වරූපය අපූරුවට ඉදිරිපත් කරයි. “දනින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා“ යන පදයෙන් එය පැහැදිලි වේ. ඒ අනුව සමාජයේ සිදුවන මෙවැනි ක්‍රියාවන් තුළින් අනාගතය යථාර්තයක් වේ යැයි කිව නොහැක. ඒ අනුව මෙම ගීතය තුළින් විවේචනය විය යුතු තැන් පිළිබඳව සෘජුවම විවේචනය කොට ඇත. අද සමාජයේ යථාර්තය හෙළි කිරීමට බිහිවුණු ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙසට මෙය හැදින්විය හැක. බටහිරකරණය අනුව සංස්කෘතික ලක්ෂණ වෙනස් වන ආකාරය මෙන්ම එමඟින් සමාජ ශෝධකත්වයක් සිදුවන ආකාරය මැනවින් ප්‍රත්‍යක්ෂ කොට ඇත. මෙම ගීතය සමාජයේ ප්‍රසිද්ධ වී ඇත්තේ ද සුකිරි බටිල්ලන්ගේ ගීතය නමිනි. එයට හේතුව මෙම සුකිරි බටිල්ලන් නම් වූ පරගැත්තන් විරෝධයට ලක් කිරීමයි. බටහිර ගැති ගති සිරිත් විරෝධයට ලක් කිරීමයි.
                 ඒ අනුව ගී පද රචකයා මෙය සමාජයට ඒත්තු ගැන්වීමට යොදා ගත් භාෂා රටාව ගැන කිව යුතුමය. වාචික මෙන්ම සංවාදාත්මක භාෂා රටාවක් ඔස්සේ මෙය විවරණය කර ඇත. කථන භාෂාව ඔස්සේ මෙම විරෝධාකල්පය රසිකයාට දැනවීමට ගී පද රචකයා ගත් උත්සහය සාර්ථකය. “කන්ට , බොන්ට ආදී වචන මෙයට නිදසුන්ය. තව ද “ගනිල්ලා , දියල්ලා , පුදල්ලා , වරෙල්ලා“ ආදී වු ග්‍රාමීය බස් වහර මඟින් දේශීය අනන්‍යතාවය සපත කරන්නට කවියා ගත් උත්සහය ද අති සාර්ථකය. තවද මෙතුළ ගැබ් වී ඇති අර්ථ සම්පන්නභාවය පිළිබඳව ද කිව යුතුමය. ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ සෘජුවම ප්‍රකාශ කර ඇති බවක් දක්නට ලැබේ. “කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා“ ආදී පද මෙයට නිදසුන්ය. තව ද රචකයා පුද්ගල දුර්වලතාවයන්ද අපූරුවට තම කවි සිත ඔස්සේ ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා ඇත. එය ද සමාජයේ තවත් එක් පැතිකඩක් විරෝධයට ලක් කිරීමකි. “ වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා“ ආදි පද මෙයට නිදසුන්ය.ගීතයේ අවසානය දක්වාම කාව්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරයි. සිව්පද ආකෘතිය අනුගමනය කරමින් , එළිසමය ආරක්ෂා කරමින් කිව යුතු කරුණ සෘජුවම ඉදිරිපත් කොට විරෝධයට පත් කළ යුතු තැන , විවේචනය කළ යුතු තැන සෘජුවම එයට භාජනය කර ඇති බවක් දක්නට ලැබේ. තව ද “දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා“ වැනි සංවාදාත්මක භාෂාවද කවියාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට දායක වී ඇත.
                                    ඒ අනුව අපූරු භාෂා හරඹයකින් අනතුරුව එයට සංගීතය මුසු කොට සමාජ විරෝධී එක් පැතිකඩක් විවරණය කිරීමට මොවුන් ගත් උත්සහය සාර්ථක වී ඇත.

No comments:

Post a Comment