Thursday, August 24, 2017

මුස්ලිම් සංස්කෘතිය , විවාහය හා බැඳුණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය


 



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු

ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් පුමිතිරිබව යනු පිරිමිකම සහ ගැහැණුකම අතර වෙනස ට අදාල වන්නාවූ ලක්ෂණ පරාසය වේ.

ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඵ්කකයක දීම මෙන්ම සෑම ස්තරයක දීම ඵය දක්නට ලැබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඵකිනෙකට වෙනස් වු ගති ලක්ෂණ , අනන්‍යතා , හැසිරීම් රටා , භුමිකා සහ වෘත්තීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය ආගම , විශ්වාස , ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ.
 
මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග , ජාති , කුල , ප්‍රදේශ අතර ද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. ඵම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුලු දෙයකි.
 
පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්ය. ඵඩිතර ඉක්මන් තීරණ ගත හැකිය. නායකත්වයක් සහිතය. බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමකය. සුන්දරය. පුරුෂයෙකු මත යැපෙන කාරුණික ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ.
ස්ත්‍රී පුරුෂ බෙදිම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම්
 
ස්වභාව ධර්මයෙන් හිමි වි ඇති ප්‍රජනන කාර්යය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත.
ඒ අනුව
■    දරුවන් පෝෂණය කිරිම
■    රැක බලා ගැනිම
■    ගේ දොර කටයුතු
■    දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
■    වැඩිමහල්ලන් රැක බලා ගැනිම

 
ඵයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත.
■    වෙළඳාම
■    ගොවිතැන හෝ වෙනත් රැකියා
■    සමාජ වැඩ කටයුතු
■    ස්ත්‍රින්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම

මේ අනුව ගෘහාශ්‍රිත කටයුතු සමාජය විසින් ස්ත්‍රීයට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකෙයි. ඵම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වෙයි. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකේ. ඵම නිසා ඔහු පොදු පිරිමියා යන නමින් හැඳින්වෙයි. දරුවෙකු කුඩා කළ සිට සමාජානුයෝජනය කිරිම තුළින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ.
 
ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට අසමාන වු තත්වයක් හිමිකර දී ඇති අතර ඵ් මත පදනම් වු විශ්වාස හා අගය කිරීම් ඵම සමාජවල දැඩිව මුල්බැසගෙන ඇත. බොහෝ රටවල ඇදුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස් කම් පවා දක්නට ලැබේ. ඵහි දි ස්ත්‍රි පුරුෂ වශයෙන් බෙදුණු පද ව්‍යාකරණ විධි ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට විශේෂිත වු යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකියා ක්ෂේත්‍රයේදී දී හෙදි , ගුරු , ලඝු , ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙස ද බර වාහන පැදවිම , ඉංජිනේරු හා ආරක්ෂක අංශ , තාක්ෂණ රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන් වු ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකර විය යුතුය  යනුවෙන් සමාජය විසින් වර්ග කිරිමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර වල දී පවා බෙදීමක් දක්නට ලැබේ.
 
කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත් , ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ. ළාමක , නම්‍යශීලී , කාරුණික , ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකී.
 
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක් ” මානව වර්ගයක් ” කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහස , අඩු වරප්‍රසාද , අඩු අයිතිවාසිකම් , අඩු දේපළ , අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය.
 
මෙම බෙදීම තුළ මුස්ලිම් ආගම හා සංස්කෘතිය තුළ විශේෂ වශයෙන් මෙම සමාජදෘෂ්ඨිය දරුණු ලෙස දක්නට ලැබේ. ඉස්ලාම් ආගම තුළ පවතින දරුණු මතවාද මේ ඔස්සේ නිරූපිතය. එහිදි කාන්තාවට හිමිවන ස්ථානය හා පුරුෂයාට හිමිවන ස්ථානය තුළින් එතුළ අතීතයේ සිට පැවත එන සමාජදෘෂ්ඨිය ප්‍රකාශිතය.



ඉස්ලාමයට අනුව කාන්තාවට හිමි තැන
 
වර්තමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින ඇය සැබැවින්ම එසේ වන්නියක් නොවන බව ඉස්ලාමය තුලට යන්තමින් හිස පොවන නොව ගැඹුරින් විමර්ශනය කරන්නෙකුට නිරායාසයෙන් වැටහෙන්නකි.
 
ලෝකයේ පළමුවෙන්ම බිහි වූ කාන්තාව පිරිමියාගේ ඉල ඇටයෙන් බිහිවිය. ඉන්පසු ආදම් නබිගෙන් හා හව්වා තුමියගෙන් මිනිස් වර්ගයා ව්‍යාප්ත වූ බව අල්කුරාණයේ සඳහන් වේ.
 
එම්බල මනුෂයයෙනි තොපි තොපගේ ස්වෘමී හට බියවවු. ඔහු තොප සියල්ලෝම එකම ප්‍රමාණයකින් නිර්මාණය කළේය. ඔහුගෙන් ඔහුගේ භාර්යාව නිර්මාණය කළේය. ඉන්පසු ඒ දෙදෙනාගෙන් අපමණ ස්ත්‍රීයන් හා පුරුෂයන් මුදවා හැරියේය“.
 
මෙම කුර්ආන් පාඨයට අනුව පුරුෂයාගෙන් ස්ත්‍රීය නිර්මාණය විය. නමුත් මෙසේ නිර්මාණය වු ස්ත්‍රීය නොමැතිව අද මිනිස් වර්ගයා බිහිවීමට නොහැකිය. එම නිසා මිනිසාගේ පැවැත්මට අදාළ නිදහස මෙම ආගමේ ස්ත්‍රීයට හිමි වේ.
 
ප්‍රාථමික යුගයේදී තම අවශ්‍යතා සපුරා ගැනීමේ භාණ්ඩයක් වශයෙන් ස්ත්‍රීය භාවිතා විය. අයියාමුල් පාහිලියියා නමැති යුගයේදී කාන්තාවට ලබාදිය යුතු මෙන්ම ලැබිය යුතු ස්ථානය පාලනය වී තිබුණි. එපමණක් නොව කාන්තාවන් තිරිසන් සතෙකුට වඩා පහත් ලෙස එම යුගයේදි සළකනු ලැබීය. යම් ගැහැණු දරුවෙක් උපන්නේ නම් ඒ දරුවා පණ පිටින් වළලා දමනු ලැබිනි. සමාජයේ ලැබිය යුතු නියම ගෞරවය ද ඇයට අහිමිව තිබුණි. එමෙන්ම පුරුෂයාට අවශ්‍ය විටෙක කාන්තාවන් විවාහ කොටගෙන අවශ්‍යතා සපුරා ගත් පසු ඇයව අතැර දැමීමටත් ජාහිලීයියා යුගයේ ආරාබිවරු සමත් වුහ. තම පියා මැරුණු විට තම මව හැර අනෙකුත් භාර්යාවන් සමඟ එක්වීමට වැඩිමහල් පිරිමි දරුවාට අවස්ථාව හිමිවිය. දේපළ හිමිකම , අධ්‍යාපනය ආදී වරප්‍රසාද මෙම යුගයේ කාන්තාවට අහිමි විය. මෙහිදී පුරුෂයාගේ සීමාවන් වලින් ඔබ්බට ගිය සංස්කෘතියක් එම සමාජදෘෂ්ඨිය තුළින් නිරූපිතය.
 
කෙසේ වුවද මෙම වරප්‍රසාද පසුකාලීනව මුස්ලිම් කාන්තාවට හිමි විය. කෙසේ වුවද මුස්ලිම් කාන්තාව අධ්‍යාපන මට්ටම අතින් ප්‍රාථමික බව සමාජ සංකල්පයයි. ඇතැම් විට ජීවිතයේ දෙවන දශකයේ මුල් අවධියේදීම ඇය විවාහපත් වීමත් ක්‍රියාකාරී සමාජය තුළ උරෙනුර ගැටෙන අයුරු නිරන්තරයෙන් අනෙකාගේ ඇස නොගැටීමත් (රැකියා ස්ථාන, උසස් අධ්‍යාපන ආයතන ආදී) මෙකී සංකල්පය ඇරඹුමේ සාධකය වන්නට ඇත. කෙසේ වුවද සැබැවින් මුස්ලිම් කතට ශිල්ප අකැපද? ඇය අධ්‍යාපනයෙන් ප්‍රාථමිකද? එය එසේනම් එය සිදුවූයේ ඇයගේ ආගමික නීතී රීතීන්හි බලපෑමටද? එසේත් නැතිනම් ඇයගේ යම් ගැටළුවක් හෝ උනන්දුවක් නොවූ නිසාද? යන්න මෙහිදී විමසා බැලිය යුතුය.
 
මෙලෙස ඉස්ලාම් දහම විසින් තහවුරු කරනු ලබන අධ්‍යාපනය ලැබීමේ අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිමි වූවක් බව පහත සදහන් මුහම්මද්තුමාගේ ප්‍රකාශයෙන් තව දුරටත් පැහැදිලි කරයි.
“අධ්‍යාපනය ලැබා ගැනීම මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අනිවාර්යය වේ.” (ඉබ්නු මාජාහ්)
මෙකී අල් කුර්ආන් වැකි හා නබි වදන් ඔස්සේ පෙනී යන්නේ ඉස්ලාම් දහම තුළ කාන්තාව සතු ශිල්ප හැදෑරීමේ අයිතිය කප්පාදු කර නැති බවය. එසේනම් අවශ්‍යව ඇත්තේ තම තමාගේ උනන්දුව උත්සාහය පමණි. එමෙන්ම තමාගේ අධ්‍යාපන මට්ටම ප්‍රාථමික කර ගැන්මට හේතුවන්නේ තමා බව මෙමගින් මුස්ලිම් කතුන්ටද වැටහී යනු ඇත.
 
වර්තමානය අතීතය හා සසදන විට වර්තමානය තුළ මුස්ලිම් කතුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉදිරියට එමින් පවතින අයුරු දැකිය හැකි වීම සතුටට කරුණකි. කෙසේ වුවද සර්ව සාධාරණ දහමක් වූ ඉස්ලාමය තුල ඉගෙනීම කිසිවිට කිසිවෙකුට අකැප නැත.
නමුත් එහිදී ද යම් යම් සීමා මායිම් දක්නට ලැබුණි. අධ්‍යාපනය සමාජීය  අංශයන් ආදියෙන් ඉහළට යාමට කාන්තාවට හැකිවිය. ඒ නබිතුමාගේ කාලයේදීය. මෙයට නිදසුනක් ලෙසට ආරම්භක අවධියේ කාෆීර්වරුන්ට එරෙහිව මුස්ලිමිවරුන්ට යුද්ධ කිරීමට සිදුවිය. මෙම අවස්ථාවන් හීදී මුස්ලිම් භට හමුදාවට සහය ලබාදීමට කාන්තාවෝද සහභාගී විය. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ වෙළඳාම කටයුතු සඳහාද කාන්තාවන් සහභාගී කරවා ගනු ලැබීය.  මේ ආදී වශයෙන් නබි යුගයේදී ඉස්ලාම් කාන්තාවට කිසියම් සාධාරණත්වයක් හිමිවිය. 
 
මුස්ලිම් කාන්තාව හා බැඳුණු තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙසට හිජාබ් නමැති වස්ත්‍ර ක්‍රමය පෙන්වා දිය හැක. ඒ අනුව මුහුණ හා මැණික් කටුවෙන් පහළ ප්‍රදේශය හා අනෙකුත් සෑම ස්ථානයක්ම වසාගත යුතුය. මේ හේතුවෙන් ඔවුන්ගේ නිදහස සීමා විය. නමුත් නබිතුමා මුස්ලිම්වරුන්ගේ අදහස වුයේ එයින් කාන්තාවගේ අධ්‍යාත්මික හා මානසික ස්වාධීනත්වය තහවුරු වන බවයි. තව ද පිරිමින්ගේ බැල්ම හා ඔවුන්ගේ ලිංගික ක්‍රියා මැඩ පැවැත්වීමටත් ඉන් ස්ත්‍රී දූෂණය සමාජයෙන් ඉවත් කිරීමට හැකි වන බවත් ඔවුන්ගේ අදහස විය.





මීට අමතරව මුස්ලිම් පිරිමියෙකුගේ ඇඳුම කෙසේ තිබිය යුතුද යන්නත් ඉස්ලාම් දහම පවසයි. පිරිමීන් ශරීරයේ නාභියේ සිට දනහිස් දක්වා ඇති කොටස ආවරණය කළ යුතුයි. ඔවුන් එම කොටස නිරාවරණය කළ හැක්කේ තම බිරින්දෑවරුන් ඉදිරියේ පමණයි. මේ හැරෙන්නට අනෙකුත් සියළු දෙනා ඉදිරියෙහි මෙම කොටස අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතුයි. ඔවුන්ගේ වස්ත්‍රයන් කාන්තාවන්ගේ වස්ත්‍රයන් මෙන්ද තිබිය නොයුතුයි. ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් කාන්තාවන්ගේ හැඟීම් අවදි කරවන තද වස්ත්‍රයන්ද නොවිය යුතුයි. පුරුෂයන්ට සේද රෙදි සහ රත්රන් පැළඳීමද තහනම්. මූලික වශයෙන් මුස්ලිම්වරයෙකු ඇඳුම් හැඳිය යුත්තේ ඔවුන් මුස්ලීම්වරුන් ලෙස හඳුනා ගැනීමටයි. 





ඒ අනුව මුස්ලිම්වරුන්ගේ ඇඳුම අනුව ස්ත්‍රීයට හා පුරුෂයාට හිමිවන සමාජ දෘෂ්ඨාකෝණය අවධාරණය වේ. පිරිමියාට මගපෙන්වීම් ලබා දීමෙන් පසු ඉස්ලාමය කාන්තාවට යම් මග පෙන්වීම් කිහිපයක් ලබා දී ඇත. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ:
 
(නබිවරයාණෙනි!) ඔබ විශ්වාසවන්ත කාන්තාවන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තමන් වසාගෙන සිටින තමන්ගේ අලංකාරය දන්වනු ලැබීම පිණිස තමන්ගේ පාදවලින් තට්ටු කිරීමද නොකළ යුතුය. විශ්වාසවන්තයිනි! ඔබලා ජය ලැබීම පිණිස ඔබලා සියලුදෙනාම අල්ලාහ්ගෙන්ම පාපවලට සමාව අයදින්න. අල් කුර්ආනය 24:31
 
ඊට අමතරව ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනික වූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.
■    ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා ” ඇය අගෞරවයට පත් නොකර ” ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය‘ යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ.
■    දියණියන් තිදෙනෙකු සිට ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම් ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්ෂාව සපයනු ඇත‘ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.
■    අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ 
කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි.
තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කල නොහැකි දේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4 : 1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට ඔවුන්ට අයිතියක් නැ.



ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්
■    විවාහයකදී මනමාලියගේ කැමැත්ත
■    දික්කසාද වීමට පුර්ණ අයතිය
■    මව, පියා, සහෝදරයා, පුත්‍රයා හා ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවල අයිතිය.
■    තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
■    අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
■    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්
■    බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
■    විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
■    අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.
 
ඊට අමතරව සාම්ප්‍රදායික සමාජයේ මෙන්ම වර්තමානයේත් කාන්තාවන්ට දේපළ හිමිකම ස්ථිරව ලබාදමක් දක්නට නැත. එහෙත් ඉස්ලාම් දේපළ බෙදා දීමේදී ඇයටත් කොටස් හිමිකළ යුතු බව සුරා අන්නිසා 7 හා 11 යන වාූක්‍ය වල සඳහන් කළ ඇත.
 
ඊට අමතරව එකළ සමාජයේ කාන්තාවන්ට මාස් ශූද්ධිය ඇතිවන කාලයේදී ඇයව නිවසින් බැහැර කර තැබීමේ සිරිතක් දක්නට ලැබුණි. නමුත් අදවන විට එය ඉස්ලාමය විසින් යම්තාක් දුරට බැහැර කර ඇත. එහෙත් දරුණු මුස්ලිම්වාදි රටවල ඇති සාම්ප්‍රදායික ගම් වල මෙම තත්වය හේතුවෙන් මුස්ලිම් කාන්තාව තවදුරටත් ප්‍රීඩා විදියි.
තව ද ජීවිතයේ ඉතා වැදගත් ස්ථානයක් වන විවාහයේදී කාන්තාවට හා පුරුෂයාට මුස්ලිම් නිතීය විවිධ දේ ඉදිරිපත් කොට ඇත.
 
මුස්ලිම් විවාහ නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන් වී නොමැති අතර ක්වාසි’ නමින් හැඳින්වෙන විශේෂ ආගමික විනිසුරුවරයන්ගේ අවසරය මත වයස 12 කට නොඅඩු ගැහැනු දරුවකු වුව ද විවාහ කර දිය හැකි බව වාර්තා වේ. එසේම මෙම  නීතියට අනුව ස්ත්‍රියක්  විවාහ වීමේ දී ඇයගේ අනුමැතිය වෙනුවෙන් අත්සන් කරනු ලබන්නේ ඇයගේ භාරකරුයි. ලිංගික අතවර කිරීම් වැනි ඉතා සංවේදී කරුණක් සම්බන්ධයෙන් පවා විභාග කරනු ලබන්නේ පුරුෂයන්ගෙන් පමණක් සමන්විත අධිකරණයක් විසින් බව පැවසේ.
 
මෙම නීතියට අනුව පුරුෂයාට සිය බිරිඳ වෛවාහක වරදක් නොකළත් ඇය තමාට යුතුකම් ඉටු නොකරන්නේ යැයි මුස්ලිම් අධිකරණය  වෙත පැමිණිලි කර දික්කසාදය ලබාගත හැකිය. එසේම පුරුෂයන් හට බහු විවාහ සඳහා අවසරය හිමි වන අතරම  දික්කසාදයක් ලබා ගත් කාන්තාවකට  නැවත විවාහයකට එළඹිය නොහැකිය. පවුල් තුළ ගෘහස්ථ හිංසනයට සහ විවිධ අඩත්තේට්ටම්වලට ලක් වීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථා ඉතා සීමිත වේ. විවාහක බිරිඳක් වෙනත් පිරිමින් සමඟ ගණුදෙනු පැවැත්වීම තබා වෙනත් පිරිමියකුගේ ඇස ගැටීම පවා වරදක් ලෙස ඇතැම් අවස්ථාවල තීරණය වී තිබේ.
මුස්ලිම් විවාහය හා සම්බන්ධ මුස්ලිම් නීතිය
 
මුස්ලිම්වරුන් අතර විවාහ සම්බන්ධකම් ඇතිකිරීම හා ඔවුන් අතර පවතින විවාහයන් දික්කසාද කිරීම් සම්බන්ධ ඉස්ලාම් ධර්මයට අනුකූල නීතීමය ප්‍රතිපාදන ව්‍යවස්ථාගත කර ඇත්තේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මඟින්ය. එය වරින්වර සංශෝධනය කොට අවසන් වරට 1975 අංක 41 දරණ පනත වශයෙන් සංශෝධනය කර ඇත.
 
සියළුම විවාහ ලේකම්වරු පත්කරනු ලබන්නේ රෙජිස්ටාර් ජනරාල්වරයා විසිනි. සියළුම විවාහ ලේකම්වරුන් මුස්ලිම් පිරිමි අය වියයුතුය. මෙම විවාහයන් ලියාපදිංචි කිරීමට පෙර නිකාහ් නමැති චාරිත්‍රවිධි ඉටුකල යුතුය. ලියාපදිංචි කිරීම සඳහා මනමාලයා විසින් හෝ මනාලිය වෙනුවෙන් විවාහ භාරකරුවන් පෙනි සිටීම අවශ්‍ය අවස්ථාවක දී ඒ විවාහ භාරකරු විසින් හෝ නිකායේ චාරිත්‍රවිධි සිදුකරන අය විසින් හෝ පියවර ගත යුතුය. විවාහය ලියාපදිංචි ිරීම සඳහා පියවර ගත හැක්කේ පහත සඳහන් අයට පමණී.
 
■    මනමාලයා විසින්
■    මනාලියගේ විවාහ භාරකරු හෙවත් වලි විසින්
■    නිකාහ් චාරිත්‍රවිධි ඉටුකල අය විසින්
 
විවාහය ලියාපදිංචි කිරීමට පෙර මනමාලයා විසින් හෝ මනාලියගේ විවාහ භාරකරු විසින් විවාහ ලේකම් ඉදිරියේ ප්‍රකාශයක් කළ යුතුය. මුස්ලිම් නීතිය අනුව මනාලියගේ විවාහ භාරකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොවේනම් ඒ බව කාත්වරයෙකු විසින් ප්‍රකාශ කර තිබිය යුතුය. මුස්ලිම් මනාලියක විසින් ප්‍රකාශය අත්සන් කිරිම අවශ්‍ය නැත. අත්සන් කළ යුත්තේ ඇගේ පියා හෝ පිය පක්ෂයේ අයෙකු විසින්. එම අය නොමැතිනම් ඇයට අත්සන් කල හැක.
■    මුස්ලිම් ස්ත්‍රියකගේ ඉන්දත් කාලය තුළදීි විවාහ ගිවිසුම් ලියාපදිංච් නොකළ යුතුය.
■    වයස අවුරුදු 12 සම්පූර්ණ නොවු මුස්ලිම් ගැහැණු ළමයෙකු විවාහ කර දීමට ක්වාසී වරයාගේ අවසරය අත්‍යවශ්‍යය. නොඑසේ නම් ඒ ලමයා සමඟ විවාහ ලියාපදිංචි සිදු නොකළ යුතුය.
■    විවාහ වූ මුස්ලිම් පිරිමියෙකු භාර්යාවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් තබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ බව ඊට දින 30 කට පෙර තමන් විවාහ වී සිටින හා විවාහ විමට බලාපොාරොත්තු වන ස්ත්‍රිය පදිංචිව සිටින කොට්ඨාශ වල ක්වාසිවරුන් වෙත ඒ බව දැනුම් දිය යුතුය. ඒ දැන්වීම ක්වාසිවරයා විසින් ඒ ඒ කොට්ඨාශ වග ජුම්මා පල්ලියේ ප්‍රදර්ශනය කළ යුතුය.
 
ඊට අමතරව මුස්ලිම් විවාහ ලියාපදිංචියේදී ඉදිරිපත් වන සාක්ෂිකරුවන් මනා සිහිකල්පනාවෙන් යුතු වැඩිහිටි ඉස්ලාම් භක්තිකයන් විය යුතුය. හොඳ සිහියෙන් යුතු මුස්ලිම් පිරිමියෙකුට තමා වෙනුවෙන්ම වුවත් විවාහ ගිවිසුමකට ඇතුළත් විය හැකිය. නමුත් ස්ත්‍රීයකට තමා වෙනුවෙන් හෝ වෙනත් අයෙකු වෙනුවෙන් එසේ විවාහ ගිවිසුමකට එළඹිය  නොහැකිය. ස්ත්‍රීයගේ විවාහ භාරකරු විසින් එම ගිවිසුමට අත්සන් කර ඇය විවාහ කරදිය යුතුය. කන්‍යා ස්ත්‍රීයක් විවාහ වීමේදී මව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත අවශ්‍යය. ඇය කන්‍යාවක් නොවේ නම් ඇගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත්ය.
 
මුස්ලිම් චාරිත්‍රවිධි අනුව විවාහයක් සිදුකරනු ලබන අවස්ථාවේදී දායාද ප්‍රදානය අනිවාර්ය අංගයකි. මෙය මහර් හා කයිකුලී යනුවෙන් දෙවර්ගයකි. මහර් යනු විවාහවීම නිමිත්තෙන් සැමියා විසින් බිරිඳට දෙන ත්‍යාගයයි. හය මුදලක් හෝ දේපළක් විය හැක. ඇය දික්කකසාද වුවහොත් එම දායාද නැවත සැමියාට භාරදිය යුතුය. බිරිඳ මිය ගියේ නම් ඇයගේ දරුවන්ට එම දේපළ හිමි වේ. කයිකුලී යනු මනාලියගේ පාර්ශවයෙන් බෑණාට දෙනු ලබන දායාාදයයි. මනාලයා විසින් ඒවා තමා සන්තකයේ තබාගත යුතු අතර ඇය දික්කසාද වූයේනම් ඒවා ආපසු බිරිඳට බාරදිය යුතුය. එම දේපළ වියදම් වුයේ යැයි පවසා සැමියාට කිසිවිටෙතකත් නිදහස් විය නොහැක. තමා විසින් බිරිඳට ලබා දුන් ත්‍යාගයක් ද එයට හිලව් කිරීමට නොහැකිය.
 
මේ පිළිබඳව දියතලාව ජුම්මා පල්ලියේ ප්‍රධාන පුජකවරයා වන  නසීර් මහතාගේ අදහස වූයේ ඉස්ලාමය කුළ වර්තමානයේ මෙවැනි තත්වයන් නොමැති බවයි. නමුත් සාම්ප්‍රදායික වශයෙන් යම් යම් රටවල විශේෂයෙන් අරාබි රටවල මෙවැනි කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් දක්නට ලැබෙන බව ඔහු ප්‍රකාශ කල අතර ඊට අමතරව කානතා අයිතිවාසිකම් ඔවුන්ගේ ආගමට සංස්කෘතියට අනුකූලව නම් උල්ලංඝනය නොවන බව ඔහුගේ අදහස විය. සෑම ආගමකම සංස්කෘතියකම මෙන්ම තම සංස්කෘතියට ද ආචේණික මතවාදයන් කිහිපයක් පැවතිය ද එයට ඔවුන්ගේ සමාජයේ කාන්තාවන් හා පුරුෂයන් හුරු වී ඇති බවක් ද ඔහු අවධාරණය කරන ලඳි.
මුස්ලිම් මනාලිය
 
මුස්ලිම් මනාලියකගේ හැඩ ගැන්වීම් තුළින්ද විශේෂත්වයක් දැකිය හැකි වෙයි. මුස්ලිම් ජාතීන්ගේ චාරිත්‍ර සහ සිරිත් විරිත් අනුව ඔවුන් මංගල දිනයේ හැඩවෙන්නේ කෙසේද? ඔවුන්ගේ විලාසිතාවන්වල දැකිය හැකි විශේෂත්වයන් මොනවාද යන කරුණු ගැන අප  අවධානය යොමු කරමු.

මුස්ලිම් මනාලියට නියමිත මංගල ඇඳුමක් තිබුණේ නැත. හිස සිට ආවරණය කරගෙන සිටින මුස්ලිම් කාන්තාව විවාහ මංගල දිනයට පමණක් ආවරණය ඉවත් කිරීම නුසුදුසුයැයි මතයක් තිබෙයි. ආවරණය සමඟම අලංකාරම මනාලියක් ලෙසින් හැඩ ගැන්වීමට ඔවුන්ට ආවේණික වූ ඇඳුමක් නිර්මාණය වූයේ ද එම නිසයි. මෙය ද මුස්ලිම් කාන්තාවගේ කැමැත්ත පරිද්දෙන් තමන්ට ආවේණික ආකාරයට ඔවුන්ගේ ආකල්පය පරිදි වෙනස්කර ගත හැකියි.
ෆාතිමා මෙනවිය මේ පිළිබඳ මෙසේ අදහස් දක්වන ලදි. අනිවාර්යෙන්ම මුස්ලිම් මනාලිය රත්තරන් පැළඳීම විශේෂ දෙයක් නිසා ඔවුන්ගේ මංගල ඇඳුම රත්තරන් මිශ්‍ර වර්ණයන්ගෙන් ගළපා ගැනීම වඩාත් උචිත වේ. මෙය විශේෂයෙන් දැනුවත් විය යුතු කරුණක්. මුස්ලිම් මනාලියට තවත් විශේෂ දිනයක් නම් මෙහෙන්දි උත්සවයයි. ඔවුන් මෙහෙන්දි ගැල්වීම උත්සවාකාරයෙන් සමරයි. මෙහිදී මනාල පාර්ශවය නිවෙසට පැමිණ මනාලියට තෑගි බෝග ගෙනත් දේ. මනාලයාගේ සහෝදරියන් විසින් මෙහෙන්දි ගල්වනු ලබයි.

 
මුස්ලිම් මනාලිය හැඩ ගන්වන්නේ කෙසේද? 


 
අනිකුත් මනාලියන් මෙන්ම මුස්ලිම් මනාලියද මාස හයකට ප්‍රථම දින නියම කරගත යුතුයි. මන්ද ඔවුන්ගේ සමේ තිබෙන්නා වූ ගැටලු නිරාකරණය කරගැන්ම සහ ඇඳුම් නිර්මාණය සඳහායි. මෙහිදී මුස්ලිම් මනාලියට විශේෂයෙන් හිස සැරසිල්ලක් ගැනෙන්නේ නැත. හේතුව ඔවුන් හිස ආවරණය කරන බැවිනි. නමුත් අනිත් මනාලියන් මෙන්ම හිස ෂැම්පු කන්ඩිෂනර්කර පිරිසුදු කරගත යුතුයි.
 
මේක්අප්
 
මුහුණේ මේක්අප් එකේදී මුහුණ පමණක් කැපී පෙනෙන නිසා ඉතාමත් හොඳ මේක්අප් එකක් යෙදිය යුතුයි. ඇරැබියන් මේක්අප් එකේදී හෙවි මේක් අප් එකක් දැමීම බහුලව දක්නට ලැබෙයි. ඔවුන්ගේ අයි මේක්අප් එකට විශේෂ තැනක් දිය යුතුයි. වර්ණ සංකලනයේ දී ඉතා හොඳින් ඇස් කැපී පෙනෙන ලෙස ආලේපනයන් යොදාගත යුතුයි. මෙහිදී අයි මේක්අප් එක යෙදීමේදී ඇස්වල තිබෙන්නා වූ දිගු සහ විශාල ස්වභාවයන් අඩුවැඩි කිරීම විශේෂ තැනක් ගනියි. තොල් ආලේපන යෙදීමේදී සමහර මුස්ලිම් කාන්තාවන් තද වර්ණ අනුමත නොකරයි. නමුත් ලා පැහැති වර්ණ හොඳින් උරාගන්නා ලෙස ආලේප කිරීම තුළින් මේක්අප් එක වැඩි කාල වේලාවක් රඳා පවත්වා ගැනීමට පුළුවන.

මංගල ඇඳුම
 
හබායා බ්‍රයිඞ්ල් යන්නෙන් අදහස් කරන දේ හරියාකාරව තේරුම් ගැනීම ඉතා වැදගත් වෙයි. මන්ද මුළු සිරුරම ආවරණය කරන්නා වූ මුස්ලිම් කාන්තාව එම ඇඳුමට ගරු කරන්නේත් සිංහල කාන්තාව කැන්ඩියන් එක අඳින්නාක් මෙනි. මෙම මනාලිය හැඩ ගැන්වීමේදී මුහුණ හැරුණු කොට ශරීරයේ කිසිම තැනක් විවෘත නොවිය යුතුය.
 
මෙහිදී මුස්ලිම් විවාහ මංගල උත්සවය දෙයාකාරයකින් ගනු ලබයි. තවත් සමහරක් කාන්තාවන්ට වෙනම තැනක් සූදානම් කරයි. කාන්තාවන් පමණක් සිටින අවස්ථාවලදී මනාලියන්ට අත් ආවරණ (ග්ලවුස්) නොදැමීම ගැටලුවක් නොවේ. මෙහෙන්දි ආලේප කරන නිසා එම රටා මනාලියට එළියක් ගෙන දෙයි.
 
මල් කලඹ
 
මල් කලඹ යොදා ගැන්මේදී ඇඳුමට සරිලන ලෙස වර්ණ ගලපා ගැන්මට මනාලිය උත්සුක විය යුතුය. මන්ද මුස්ලිම් මනාලිය පුරුදු වී සිටින්නේ තද වර්ණවලට බැවින් ඔවුන් එය ඇඳුමට ගළපා ගැන්ම පිළිබඳ එතරම් අවධානයක් නොදක්වයි. මේ නිසා ඇය හැඩ ගන්වන රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් එය ඇයට වටහා දිය යුතුයි.
ආභරණ
 
ආභරණ පැලදීමේදී රත්තරන් පැලදීම අනිවාර්යය වේ. එම නිසා සුදු සහ රිදී ඇඳුමට එකතු කිරීමේදී රන් වර්ණය මිශ්‍ර කිරීම ඉතා සුදුසුය. මෙයද ඔවුන් තැකීමක් නොකරන දෙයකි. මෙය වටහා දී ඡායාරූප ගන්නවා නම් එයින් පසුව හෝ එම වර්ණ උපායශීලීව එකතු කළ යුතුයි. එය රූපලාවණ්‍ය ශිල්පිනිය හොඳින් අවධාරණය කළ යුතු දෙයකි.
ඇඳුම්
 
විශේෂයෙන් ආවරණය කරන ලද මුස්ලිම් මනාලිය ඇඳිය යුත්තේ සහ ඇයට ඇඳිය හැක්කේ ගවුමය. නමුත් සාරිය ගුජරාටි ක්‍රමයට ඇන්දවීම කළ හැකියි. එසේම සාරිය ගවුමක් ලෙස ඇන්දවීමට රූපලාවණ්‍ය ශිල්පිනිය බොහෝවිට දනියි.
 
එයත් ඉහත කී ආකාරයට එසේ ආවරණය කරගැන්ම සඳහා උපයෝගී කරගත හැකියි. ආවරණය නොකරන ලද මුස්ලිම් මනාලිය හිස වසා ගැන්මට ඉතා කැමැත්තක් දක්වයි. එයින් මුස්ලිම් මනාලියක් බව හොඳින් ඉස්මතු වේ. එය ලෙහෙන්ගා විලාසිතාවක් හෝ චෝලි විලාසිතාවක් හෝ සාරියකින් සිදු කරගන්නා ගුජරාටි විලාසිතාවක් විය හැකියි. වෙනත් ඕනෑම සාරි විලාසිතාවක් කිරීමේදී හිස වසා ගැන්මක් සිදු කිරීමෙන් මනාලිය වඩාත් කැපී පෙනෙයි. මෙය මුස්ලිම් කාන්තාව හඳුන්වන්නේ මුන්දානිය වශයෙනි. මෙහිදී පාකිස්ථාන් හින්දු විලාසිතාවන් අනුගමනය කළ හැකියි. නමුත් තිලකය තැබීම නොකළ යුතුයි. එය ඔවුන්ට සුදුසු දෙයක් නොවේ.
ඇගේ ශරීරයේ ස්වභාවය අනුව එනම් මහත කෙට්ටු බව අනුව ඇඳුම් තෝරා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මන්ද සමහර මනාලියන් ස්ථුලතාවයෙන් හෙබි වුවත් ඔවුන් බක්‍රම් යොදා ගනිමින් ගවුම් ඇඳීමට ප්‍රිය කරයි. නමුත් එය ඇඳීම තුළින් ඇය තවත් සිරුරින් මහත්කර පෙන්වයි. වර්ණ ද එසේමයි. මුස්ලිම් මනාලියක් හැඩ ගන්වන විට මේ දේවල් ගැන හොඳින් දැනුවත් වී ඇයගේ හැඩ ගැන්වීම් කළ යුතුයි.
 
වලීමා යන්නෙන් අදහස් කරන්නේ දෙවැනි ගමනයි. මෙහිදි මින් අනතුරුව මුස්ලිම් කාන්තාව ස්වභාවයෙන්ම ලිංගික භාණ්ඩයක් බවට පත්වන අතර විවාහ වූ දින සිට මාසයක් විවාහ වූ ජෝඩුව කාමරයක තනි කරනු ලැබේ. එම මාසය තුළ සියළුම සත්කාර මෙන්ම ඕනෑ එපාකම් නිවැසියන් විසින් සපයන අතර මාසය අවසානයේ දරුවෙකු පිළිසිඳ ගෙන තිබීම මින් අපේක්ෂා කරයි. එතුළින් ද මෙතුල දක්නට ලැබෙන සමජභාවය මනාව ඉස්මතු වේ.
බහුභාර්යා විවාහය
 
බහුභාර්යා විවාහය ඉස්ලාම් ධර්මය අනුමත කර ඇත. එහෙත් එය අනිවාර්ය කර නැත. මේ පිළිබඳව ශුද්ධ වූ අල් කුරාණය මෙසේ පවසයි.
 
“නුඹලාට නුඹලාගේ දරුවන්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත් නුඹලා විසින් තෝරා ගන්නා ලබන ස්ත්‍රීන් දෙදෙනෙකු , තිදෙනෙකු හෝ සිව්දෙනෙකු විවාහ කර ගන්න. එහෙත් ඔවුන්ට යුක්තිය ඉටු කිරිිමට නොහැකි වේ යැයි ඔබලාට බියක් ඇති වුවහොත් එක් කාන්තාවක් පමණක් විවාහ කර ගන්න.“
 
ඒ අනුව මුස්ලිම් ආගමට අනුව බහුබාර්යා විවාහයේදි විවාහයෙන් විවාහයට යුතුකම් හා වගකීම් වැඩිවනු ඇත. ඒ අනුව එම බිරින්දැවරුන්ට ඉටුකල යුතු යුතුකම් හා වගකීම් මෙසේ දක්වා ඇත.
■    එම බිරිදට අවශ්‍ය ආහාර පානාදී ඇතුළු අවශ්‍යතා සපුරාලිය යුතුය.
■    බිරිදට අවශ්‍ය ඇදුම් පැළඳුම් ලබාදිය යුතුය.
■    එම බිරිඳට වාසය කිරීමට නිවසක් හෝ නවාතැන් පහසුකම් සැපයිය යුතුය.
■    එම බිරිඳගේ ලිංගික අවශ්‍යතාවයන් තමා විසින් ඉටුකල යුතුය.
■    එම බිරිඳගෙන් ලැබෙන දරු සම්පත් වලට තමා විසින් වියහියදම් ලබාදිය යුතුය.
■    බිරින්දෑවරු අතර මෙම වියහියදම් , සැළකිලි දෙයාකාරයෙන් නොතිබිය යුතුය.
■    රාත්‍රිය ගත කිරිමේදී බිරින්දෑවරුන් අතර සමසේ කාලය වෙන්කර ගත යුතුය. 

විශේෂයෙන්ම බහුබාර්යා විවාහය සිදුකරගන්නන්ට සම කාලපරිච්ඡේදය යන්න ඉතා වැදගත් කරුණකි. බිරින්දෑවරුන්ට දෙන මෙම සම කාලපරිච්ඡේදය ඔහු විසින් තෝරාගනු ලබන්නේ කුසපත් ඇඳීමකිනි. අවම වශයෙන් එක් රාත්‍රියකි හෝ දහවලක් ලෙස ද උපරිම වශයෙන් රාත්‍රි තුන් හෝ දහවල් තුනක් වශයෙන් ද වෙන් කිරිමට සිදුවේ. කුමන හෝ හේතුවක් මත බිරිදක සමඟ දින තුනට වඩා ගතකරන්නේ නම් අනෙක් බිරින්දෑවරුන්ගෙන් එයට අවසර ගත යුතුය.  එම වෙන් කරන ලඳ කාල වලදී එම කාන්තාවන් මුහුණ පා සිටින ස්භාවික කරුණු එනම් ඔසප් වීම, අයහපත් සෞඛ්‍ය ආදී කරුනු නිසා ඇයගෙන් වෙන්ව සිටීම ධර්මය අනුමත නොකරයි.
එ් අනුව බහුබාර්යා විවාහය යනු සෑම අතකින්ම යුක්තිය හා සමානාත්මතාවය ඉටුකළ යුතු වැදගත් පැවරුමකි.


මුහමුමද් නබිතුමාගේ බහුභාර්යා විවාහය
මුහම්මද් නබිතුමා මෙලොව ජීවත් වුයේ අවුරුදු 63ක් පමණි. එතුමාගේ ප්‍රථම විවාහය වයස අවුරුදු 25 දී සිදුවිය. ඒ වයස අවුරුදු 40 සපිරුණු වැන්දඹු කාන්තාවක් වූ කතීජා තුමිය සමඟයි. ඇය වයස අවුරුදු 50 දී මිය ගිය අතර ඉන්පසු නබිතුමා අනෙක් කාන්තාවන් සමඟ විවාහ විය. ඒ අනුව මොහු කාන්තාවන් 11 දෙනෙකු විවාහ කරගත් අතර ඒ අතරින් අයිෂා නම් කාන්තාව පමණක්  කන්‍යාවියක් වූ අතර අනෙකුත් සියළු කාන්තාවන් වැන්දඹු ස්ත්‍රීයන් විය. ඒ අනුව ඔහුගේ එම ස්ත්‍රින් කිහිප දෙනෙකු මෙසේ දැක්විය හැක.

    කතීජා බින්ත් කුවෙයිලද් තුමිය
    අයිෂා බින්ත් තුමිය
    සව්දා බින්ත් තුමිය
    හෆ්සා බින්ත් උමර් තුමිය
    සයිනබ් බින්ත් කුසෙයිමා තුමිය
    උම්මු ෂලමා
    සෙයිනබ් බින්ත්
    උම්මු හබ්බා
    ජුවෙයිරා බින්ත්
    සෆීයා බින්ත්
    මයිමුනා බින්ත්
 
මේ ආදී වශයෙන් මුස්ලිම් සමාජයේ ඇති බහුබාර්යා විවාහය පිළිබඳ  කරුනු  දැක්විය හැක. ඉස්ලාම් නීතියට අනුව පුරුෂ පක්ෂයට මෙම විවාහයන් සඳහා අවසර ලබා දී තිබුන ද කාන්තාවන් ට මෙවැනි විවාහ සිදුකර ගැනීමට අවස්ථාව හිමි නොවේ. එනම් පුරුෂයන්ට නියමිත නීතී රීති වලට අනුකූලව බහුබාර්යා විවාහය සිදුකත හැති වුවද කාන්තාවන්ට එක් ස්වාමිපුරුෂයෙක් සිටියදි තවත් අය විවාහ කර ගැනීමට නිතියෙන් අනුමත නොවේ. ඒ සඳහා කාන්තා පක්ෂයට තහනම් ද පනවා ඇත. එයට හේතු වශයෙන් ද කරුණු දක්වා ඇත. 

■    ස්භාවයෙන්ම කාන්තාවන්ට වඩා පිරිමින්ට ලිංගික ආශාවන් හා හැඟීම් අධික විම.
■    පිරිමියෙකු එක්  ස්ත්‍රීයකට වඩා වැඩි ස්ත්‍රින් ගනණක් සමඟ විවාහ වී ජීවත් වීමට ශාරීරිකව බලසම්පන්න වීම. ස්ත්‍රියක් එලෙෂ බලසම්පන්න නොවීම.
■    ස්ත්‍රීයකගේ වින්තනය වෙනස් විය හැකි විම.
■    පුරුෂයන් ගණනාවක් සමඟ ලිංගිකව හැසිරීමේදී ඇය රෝගාතුර වීම හා එම රෝග බිහිවීම.
■    උපදින දරුවන්ට තම පියා කවුරුන්දැයි නිසැකවම හඳුනාගත නොහැකිවීම.
                මේ ආදී වශයෙන් බහුභාර්යා විවාහය කාන්තාවන්ට නුසුදුසු විමටත් , පුරුෂයන්ට සුදුසු වීමටත් මෙලෙස හේතු සාධක දක්වයි.
 තහනම් ඥාතීත්වය සංකල්පය

මුස්ලිම් පුරුෂයෙකු පහත සඳහන් ඥාතීන් සමඟ විවාහවීම සම්පුර්ණයෙන්ම තහනම්ය.
        
■    තම මව , මවගේ මව හෝ ඊට  පුර්වලාමී පරම්පරාවේ  ස්ත්‍රීන්
■    තම දුව දුවගේ දුව හෝ අනුගාමී පර්පරාවේ ස්ත්‍රීන්
■    තම සහෝදරියන් හා අර්ධ සහෝදරියන්
■    තම මවගේ පියාගේ  සහෝදරියන්
■    තම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ දුවක හෝ ඇයගෙන් පැවතෙන්නියන්
■    තම බිරිඳගේ මව හෝ මිත්තණිය
■    තම බිරිඳගේ වෙනත් සැමියෙකුගේ දුවක හෝ ඇයගෙන් පැවතෙන්නියන්
■    තම පුතාගේ , මුණුබුරාගේ , පියාගේ බිරිඳ , වැන්දඹු හෝ දික්කසාද ස්ත්‍රීය
■    තම බිරිඳ ජීවත්ව සිටීනම් බිරිඳගේ සහෝදරිය

විවාහයක් අවසන් වීමේදී

පහත සඳහන් අවස්ථාවන් එකකින් වලංගු විවාහයන් අවසන් වේ.
■    බිරිඳ මියගිය විට
■    සැමියා මියගිය විට
■    සැමියා විසින් විවාහය අවසන් සේ සළකා සිටින විට
■    දික්කසාද විමෙන්

සැමියා මියගිය විට මාස හතරකුත් දවස් 10 ක ඉන්දත් කාලයක් පිරිමින්ගේ ආශ්‍රයෙන් සම්පූර්ණයෙන් වෙන්ව ස්ත්‍රීයක් කල් ගෙවිය යුතුය යන්න මුස්ලිම් නිතියයි. ඉන්දත් කාලය ගතවීමෙන් පසුව ස්ත්‍රීයට නැවත විවාහ විය හැකිය. එහෙත් සැමියා මියයන විට ඇය ගැබ් ගෙන සිටිනම් දරුවා ලැබීමෙන් පසුව විවාහ වීමට පුළුවන.

මුස්ලිම් දික්කසාදය

■    සැමියාගේ ඉල්ලීම පිට තලක් දික්කසාදය
■    සැමියාගේ අනුමැතිය නැතිව බිරිඳගේ ඉල්ලීම මත
■    සැමියාගේ යම් වරදක් නිසා පාෂා
■    දෙදෙනාගේම කැමැත්ත අනුව

මුස්ලිම් නීතියට අනුව සැමියාගේ හෝ බිරිඳගේ ඉල්ලීම අනුව විවාහයක් අවලංගු කළ හැකිය.විවාහය අවලංගු කිරිමට ඉල්ලුම්කරු විසින් ක්වාසීවරයාට සාධාරණ හේතු පෙන්නුම් කළ යුතුය. දික්කසාදවිමේ ඉල්ලුම විභාග කරනුයේ අධිකරණ සේවා කොමිෂම විසින් පත් කරන ක්වාසීවරයෙකු විසිනි.

භාර්යාව විසින් තම සැමියාගෙන් දික්කසාද වීමට පහත කරුණු වලින් එකක් හෝ මත ඉල්ලිම කළ හැකිය.

■    සැමියා විසින් තමන්ට කෘර ලෙස සලකන බව
■    ද්වේශ සහගත ලෙස සැමියා විසින් අතැර දමා සිටිම හා නඩත්තු නොකිරිම
■    වෛවාහික යුතුකම් ඉටු නොකරිම
■    සැමියාගේ බෙලහීන බව හෙවත් ලිංගික දුර්වලතාව 
මෙම කරුණුවලට අනුව මුස්ලිම් ආගමේ විවාහය හා බැඳුණු විවිධ මතිමතාන්තර අවධාරණය වේ.


සමාජ දෘෂ්ඨිකෝණය

මේ ආදි වූ කරුණු විමසීමේදී මුස්ලිම් ආගම හා විවාහය තුළ දක්නට ලැබෙන කරුණු වලට අනුව ස්ත්‍රීපුරුෂ සමාජභාවීය ලක්ෂණ මනාව අවධාරණය වේ. ඉස්ලාමය තුළ කාන්තාවට හිමි ස්ථානය මෙන්ම පිරිමියාට හිමි ස්ථානය මෙන්ම තම ආගමට සංස්කෘතියට අනුව ඔවුනොවුන්ගේ විවිධ මතයන් ඔස්සේ මෙය තව තවත් ප්‍රකට කෙරේ.

මෙම සංකල්පයට අනුව ඉස්ලාමයේ කාන්තා වරිත නිරූපණය ඒකාකෘත ස්වභාවයක් දක්නට ලැබේ. මෙයට අනුව ස්ත්‍රීය යනු හුදෙක් සංස්කාතීක නියෝජන විනෝද භාණ්ඩයක් ලෙස මුලින් සටහන් කල කරුණු වලින් අවධාරණය වේ. අව්‍යාජ හා ගැශුරු සංස්කෘතික මානයක් ගෙන ඒම ස්ත්‍රී වරිත නිරූපණයෙන් අවධාරණය වේ. ආගමට අනුව හා මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ අභ්‍යන්තර මනෝභාවය මෙම කරුණු වලින් ඉස්මතු කර පෙන්වයි. එනම් බහුභාර්යා විවාහත තුළින් පුරුෂයෙකුගේ මනස ක්‍රියා කරන ආකාරය මෙන්ම මුස්ලිම් විවාහ නිතියේදී දෙදෙනාම යටත් විය යුතු මෙන්ම අනුගමනය කල යුතු මානයන් අනුව එය අවධාරණය වේ. කාන්තාවගේ හිජාබ් නමැති ඇඳුමද ඔවුන්ගේ වරිත ස්වරූපය හා මනෝ භාවය ඉස්මතු කරමින් ඔවුන්ගේ සමාජ මතය සමාජය ඉදිරියේ මෙන්ම විශේෂයේන් මුස්ලිම් පුරුෂයා හමුවේ ගෙනහැර දක්වයි. විවාහය සඳහා නිශ්චිත වයසක් නොමැති වීම තුළ ද , ආගමික කටයුතු වලදි ඇයට ලබා දී ඇති ස්ථානය අනුව ද මෙතුළ පුරුෂ මූලික සමාජය ඉස්මතු වේ. අතීත සමාජයේ ඇයට අධ්‍යාපනය අහිමිය. ඇයට හිමි වූයේ දරුවන් වැදීම පමණයි. අනික් කාන්තාවන් මෙන් ඇයට ලස්සනට ඇඳීමට පැළඳීමට නොහැක. ඇය එම කරුණු වලට විරුද්ධ වුවහොත් ඇය ආගමට සංස්කෘතිට විරුද්ධ වූ අයෙකු සේ සළකයි. එයින් ඇයට දඬුවම් ලබා දෙයි. පවුලෙන් ආගමෙන් නෙරපා හරි. නමුත් පුරුෂයන්ට මෙම කිසිදු නීතියක් නොමැත. දරුණු දඬුවම් ද නොමැත.

ඒ අනුව මෙහිදී ස්ත්‍රීය යනු පුරුෂ බැල්මේ සැබෑ ගොදුරකි. ඇයගේ ශරීර අවයව හා සැකැස්ම ඇය පුරුෂ වින්දනයේ අනිවාර්ය අංගය කොටගෙන හමාරය. එය සමාජ කතිකාවක් බවට පත් වී ද හමාරය. මාතෘත්වය , පතිවත , ලිංගික ආශාව , ලිංගික සූරාකෑම , ප්‍රචණ්ඩත්වය , අධ්‍යාපනය , විරැකියාව ආදි සියළු ප්‍රවාදයන් මෙහිදි විශේෂයෙන් කැපී පෙනේ. ඇයට විමුක්තිය ලැබෙන්නේ ද නැත. ගතේ පිරිසිදු කම මෙන්ම සිතේ පිරිසිදුතමද මුස්ලිම් පුරුෂයා ස්ත්‍රීයගෙන් බලාපොරොත්තු වේ. එහෙත් බහු භාර්යා සේවනය ආදිය පුරුෂයාට අකැප නැත. ඉස්ලාමයේ පොදු සමාජ දෘෂ්ටිය ගොඩ නැඟි ඇත්තේ එසේය.

ස්ත්‍රී සිරුර , වස්තුව , ඇයගේ ආත්මය කිසිසේත්මපුරුෂයෙකුට සමාන නොවන බව ඉස්ලාම් සමාජය තුළ වඩා ඉහළින් ඉස්මතු වන්නක් බව ඉහත කරුණු වලින් නිරූපිතය. නමුත් පුරුෂයා වෙනත් විවාහ තර ගන්නේ නම් පෙර විවාහ වල දරුවන්ට නඩත්තු ලබා දීම ආගමට හා නිතියට ගරු කිරිමක් මිස ස්ත්‍රීයට ගරු කිරීමක් නොවේ. ඒ අනුව මෙය පුරුෂ මූලික දැක්මකට සීමා වී ඇති දැක්මක් බව පැහැදිලිය. ස්ත්‍රීය යනු සමාජය තීරණය කරන අනිවාර්ය වටිනාතමක් වුවද එහි සැබෑ නිර්මිතයා පුරුෂයා බව පැහැදිලිය. නමුත් ජීවිතයේ සමහර තීරණ ගැනීමේ දී ස්ත්‍රීයගේ මතයට ගරු බුහුමන් දක්වන ආකාරය දික්කාදය තුළදී , තහනම් ඥාතීත්වය සංකල්පය තුළදී හා මනාලියක් වන අවස්ථාවේදි දක්නට ලැබේ. ඔවුන් සතු බලය හා එම බලය එකිනෙක වශයෙන් සමාජය තුළ බලපෑම් කරන බව මෙයින් ඉස්මතු කරයි. අවසානයේ එම සමාජ මතවාදයන් පොදු බවට අර්ථකතනයක් බවට පත් කරන ආකාරය පැහැදිලිය.

සමස්ත මුස්ල්ම් ආගම විවාහය හා ජීවිතය තුළ සංකේත රාශියක් දක්නට ලැබේ. ඒ අනුව කාන්තාවගේ හිජාබ් නමැති ඇඳුම, පුරුෂයාගේ ඇඳුම , පුරුෂයාගේ හිස් පළඳනාව , මංගල ඇඳුම ,  පල්ලිය ආදිය මෙනය නිදසුන්ය. ඉන් ඔබ්බට ගොස් මුස්ලිම් කාන්තාවක් යනුද එක්තරා සංකේතයකි.

මේ ආදී වු කරුණු වලට මුස්ලිම් සංස්කෘතිය හා විවාහය හා බැඳුණු ස්ත්‍රී පුරුෂ සමාජභාවය මනාව අවධාරණය වේ. එම සමාජය තුළ ස්ත්‍රීයට හා පුරුෂයාට හිමිව තිබෙන අයිතීන් තත්වයන් අනුව ඔවුන්ගේ සමාජ දෘෂ්ඨිකෝණය මනාව අවධාරණය වේ.

සමාලෝචනය

මුස්ලිම් ආගම හා සංස්කෘතිය තුළ මූලික වශයෙන් ඉස්මතු වනුයේ පුරුෂ මූල දෘෂ්ඨිවාදයකි. අතීතයේදී එම අවස්ථාව වඩාත් කැපී පෙනුණ ද වර්තමානය වන විට එය තරමක් දුරට ලිහිල් වී ඇත. නමුත් පිරිමියාගේ පාලනය හා පාලනය පිරිමියා සතුය යන සාධනීය ලක්ෂණ මෙම කරුණු වලින් පැහැදිලිය. ස්ත්‍රීය විනෝදජනක නිරූපණයකි යන මතවාදය තිව්‍ර කර ඇති අතර යම් යම් අවස්ථා වලදී ඇගේ මතයට ගරු කිරීමක් ද පෙන්වයි. නමුත් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ පුරුෂ දෘෂ්ටිවාදය අනුමත කිරීමකි. විවාහ නිතියට අනුව මුස්ලිම් කාන්තාව ක්‍රියාකල යුතු ආකාරය මෙන්ම ඇයට හිමිවන ස්ථානය හා පුරුෂයාට හිමිකර දී ඇති ස්ථානය දක්වන ලද කරුණු වලින් මනාව ඉස්මතු වේ. ඔවුනොවුන්ට ඔවුන්ගේ සංස්කෘතිය විසින් හිමිකර දී ඇති වරප්‍රසාදයන් තුළින් සමාජ දෘෂ්ඨිකෝණය මනාව නිරූපිතය.

ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්ෂය දකින ආකාරයද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ඉහත දැක්වු කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.


ආශ්‍රීත ග්‍රන්ථ නාමාවලිය

නිතීඥ තිලකරත්න, ආනන්ද (1994), උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලාමෛ නීතිය හා පුද්ගල නීතිය, කතෘ ප්‍රකාශන.
 
නිස්තාර්,රසුල්ඩීන් (2010), මුහම්මද් නබිතුමාගේ වරිතය, මාකසස් සල්මා ප්‍රකාශක.
 
මුහම්මද්, මොලව් (2004), බහුභාර්යා විවාහය, රත්න ප්‍රකාශන.
 
මුහම්මද්, රෂීඞ් (1997),ඉස්ලාම් ධර්මය, වාසනා ප්‍රකාශක.
 
ශ්‍රී ලංකා බහායි ජාතික අධ්‍යාත්මික මණ්ඩලය (1983), හුස්මාන්ඞ් ෆතියාසම, ශ්‍රී ලංකා බහායි ජාතික අධ්‍යාත්මික මණ්ඩලය.

https://si.wikipedia.org/wiki (2014) ,ස්ත්‍රීපුරුෂ සමාජභාවය
Gamage,dilini (2015),ස්ත්‍රීපුරුෂ සමාජභාවය

No comments:

Post a Comment